මාතර බන්ධනාගාරයේ තවත් කිහිප දෙනෙකුට උණ – සිරකරුවන් බැලීම සීමා වෙයි

සිරකරුවන් බැලීම සඳහා අද (24) සහ හෙට (25) විශේෂ දිනයක් ලෙස ප්‍රකාශ කර තිබුණ ද මාතර බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා අවසර ලබාදීමේ කාලය සීමාකිරීමට පියවරගන්නා බව බන්ධනාගාර සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 08 දෙනෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ අතර ඉන් එක් රෝගියෙකු පසුව ජීවිතක්ෂයට පත්වුණි.

ඒ අනුව මියගිය රැඳවියාගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කෙරුණි.

කෙසේවෙතත් අදාළ රැඳවියා මියගොස් ඇත්තේ මොළයේ උණ තත්ත්වයක් හේතුවෙන් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කරන්නේ මාතර බන්ධනාගාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැඳවියන් 8 දෙනෙකු ඊයේ (23) රාත්‍රියේ රෝහල්ගත කර තිබෙන බවය.

ඒ අනුව මාතර මහ රෝහලේ දැනට රෝගින් 16 දෙනෙක් නේවාසික ප්‍රතිකාර ලබයි.

ඉන් දෙදෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

Social Sharing
නවතම පුවත්