රට බංකොළොත් කළ පුද්ගලයන් අනාවරණය කිරීම ඓතිහාසිකයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස!

ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ලබාදුන් ඓතිහාසික විප්ලවීය තීන්දුවක් ලෙස පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය රට බංකොළොත් කළ පුද්ගලයන් අනාවරණය කරමින් ලබා දුන් බවත් එය ජනතාවට මහ අස්වැසිල්ලක් වූ බවත් විධායකය, ව්‍යවස්ථාදායකය රට බංකොළොත් කළ දූෂිත පාලකයන්ගේ දුෂණවලට විරුද්ධව කටයුතු නොකරපු අවස්ථාවක රටේ ස්වාධීන අධිකරණය යුක්තිය උදෙසා දැවැන්ත පියවරක් ගනු ලැබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (12 දා) සවස පදනම් ආයතනයේ පැවැති යුක්තිය වෙනුවෙන් ජනමතය වැඩසටහනට එක්වෙමිනි.

මේ තීන්දුව දුන් පසු විධායකය සහ ව්‍යවස්ථාදායකයට රට සහ ජනතාව ගැන සිතා පියවර ගැනීමට හැකියාව තිබූ බවත් ජනාධිපතිවරයාට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම කේන්ද්‍ර කරගෙන දුන් තීන්දුව මූලික කර ගෙන විශේෂ ජනාධිපති කොමිසමක් ඇති කර ඒ තුළින් තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සාක්ෂාත් වුවහොත් රට බංකොළොත් කළ පවුල්වාදී පැලැන්තියේ ප්‍රජා අයිතිය පවා අහෝසි කිරීමේ හැකියාව තිබුණත් ඒ දේ ඉටු නොවන බවත් එයට හේතුව වන්නේ වර්තමාන විධායකය සහ විධායකය නඩත්තු කරන රට බංකොළොත් කළ 134 කල්ලිය විසින් මූලික අයිතිවාසිකම් කඩකරපු ඒ රාජපක්ෂ කණ්ඩායම දිවි හිමියෙන් සුරැකීමට දිවුරා පොරොන්දු වීම නිසා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මේ තීන්දුව තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වයත් ජනතාවගේ දුක කඳුල වේදනාව ගැන සංවේදී වීමත් ගැබ්වන බවත් ව්‍යවස්ථාදායකය සහ විධායකය එසේ කටයුතු කරන විට විපක්ෂය රටම එකතු කර මෙකී දූෂිත පවුල්වාදී පාලනය අධිකරණය හමුවට ගෙනවිත් නීතියේ සහනය පතමින් ඔවුන්ගේ දුර්දාන්ත ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස බංකොළොත් වූ රටේ ජනතාවට වගකීම සහ වගවන ආකාරයට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට බංකොළොත් කළ පුද්ගලයන් අනාවරණය කිරීම ඓතිහාසිකයි - විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වන 3 වැනි පරිච්ඡේදයේ ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික සහ ජීවත් වීමේ අයිතියත් ඇතුළත් කළ යුතු බවත් ඊට අදාළ සංශෝධන සමගි ජන බලවේග රජයක් තුළ ඉටු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වර්තමානයේ පවතින දුෂණ විරෝධී පනතට වඩා වෙනස් ප්‍රශස්ත ප්‍රබුද්ධ සහ විනිවිදභාවයකින් යුක්ත කිසිම ආණ්ඩුවකට සුළුතර බහුතරයකින් වෙනස් කළ නොහැකි දූෂණ විරෝධි ආයතන ස්වාධීනව සහ දේශපාලන බලපෑමෙන් බැහැරව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් ඇති කරන බවයි.

එමෙන් ම දේශපාලන බලපෑමෙන් තොර වීම තුළ ස්වාධීනව සහ විනිවිදභාවයෙන් යුක්තව එම ආයතනයට ක්‍රියාත්මක විය හැකි බවත් ජනාධිපතිවරයාට පවා බලපෑම් සිදු කළ නොහැකි ලෙස එම ආයතන සකස් විය යුතු බවත් එම සුපිරිසිදු වෙනස සමගි ජන බලවේග රජයක් තුළ ඇති කරන බවත් ඒ නීතිය තුළ සොරුන් ලෙස ඔප්පු වන අයගෙන් රටට අහිමි කළ සම්පත් දේපල මිල මුදල් නැවත රටට ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරන බවත් එවිට වැට් බදු වැඩි කිරීම අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තව ද වත්මන් රජයට වුවත් එම හැකියාව තිබුණත් අද හොරුන්ට වහල් වු හොර ආණ්ඩුවක් පවතින බවත් මේ ආණ්ඩුව පලවා හැර හොරා කාපු සම්පත් විනිවිදභාවයෙන් යුක්තව රටට ගෙන ආ හැකි රජයක් බිහි කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රාජ්‍ය දේපළ රාජ්‍ය අරමුදල් කොල්ලකන යුගය අවසන් කිරීමට ජාති ආගම් භේදයකින් තොරව එකට එකතු වන ලෙසයි.

Social Sharing
නවතම පුවත්