කොඩි ගහ යට කලූ, ඒඩ්ස්වලින් මැරෙයිද?

කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ මුල් කාලයේ සංක්‍රාන්ති ලිංගික කලූ හිරගෙදර හිටිද්දී ඔහු හිටියෙ ලංසියා නමැති චන්ඩියකු සමගයි. එහෙම නැතිනම් හැම එකා එක්කම ඉන්න වෙන බවක් ඔහු එක තැනකදී කියනවා. පස්සෙ කාලෙක කලූ නෙවිල්, මහේෂ්, අසේල ආදීන් සමග එකතු වෙනවා. අසේල සමග ඔහුගේ සම්බන්ධය ලිංගික සම්බන්ධයක් වෙන්නත් පුළුවන්. අන්තිම හරියේදී මගදී කලූට හමුවෙන අයෙකු අර හිරගෙදර චන්ඩියාට මහ ලෙඩේ හැදුණු බවක් කියනවා. එයින් අදහස් කරන්නෙ ඒඩ්ස් විය හැකියි. අද ලෝක ඒඩ්ස් දිනය නිසා අපි ඒ ගැන අවධානය යොමු කරමු. HIV පැතිරෙන්නට පටන් ගත් කාලයේ එය පිළිබඳ සුලබව භාවිතා වුණ ප්‍රචාරණ පාඨයක් වූයේ ‘ඒඩ්ස් මාරාන්තිකයි’ යන්නයි. ඇතැමෙක් මෙය විහිළුවට ගෙන බිත්තිවල ලියුවේ තවත් කෑල්ලක් එකතු කරමිනි.
‘ඒඩ්ස් මාරාන්තිකයි. මැකුවොත් හිරේ.’ එය මැකුවොත් හිරේ යන බව මතුපිටින් පෙනුණ ද ඇත්තට ම එහි තිබෙන්නේ මැකුවොත් හිරේ යන යෙදුමේ පද පෙරළියකි.
එදා HIV ආසාදිතයන් කාලයත් සමග ඒඩ්ස් තත්වයට පත්වී මරණයට පත් වූ හ. එහෙත්, අද වන විට, HIV මරණ තර්ජනය වෛද්‍ය විද්‍යාව විසින් බොහෝ දුරට පරාජය කර හමාර ය.
HIV තවදුරටත් මාරාන්තික රෝගයක් නො වන බව UNAIDS හිටපු දේශීය අධ්‍යක්ෂ වෛද්‍ය දයානාත් රණතුංග අවධාරණය කරයි. දැන් HIV ප්‍ර‍තිකාරක ඖෂධ පෙර මෙන් පෙති, කරල් ගොඩක් නො වන බවත්, දිනකට එක් පෙත්තක් පමණක් බවත්, එහි අතුරු ආබාධ ද අඩු බවත් ඔහු පෙන්වා දෙයි. එබැවින්, දැන් HIV ආසාදිතයකුටත් දියවැඩියා, අධි රුධිර පීඩන ආදී රෝගියකු ජීවත් වනවා සේ ම වෛද්‍ය සත්කාර හා ඖෂධ සමග දිගු කලක් ජීවත් විය හැකි බව ඔහු පවසයි. HIV ආසාදිතයකු වූ පමණින් ඒඩ්ස් තත්වයට පත්වීමට අවශ්‍ය නැත. සරලව කියන්නේ නම්, දියවැඩියාවට ප්‍රතිකාර ගන්නා අන්දමින්ම බෙහෙත් බොමින්, ඇවතුම් පැවතුම්වලින් පරිස්සම් වෙමින්, සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට දැන් රෝගීන්ට හැකිය.
HIV පැතිරෙන්නේ ක්‍ර‍ම හතරකින් පමණක් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි. එම ක්‍ර‍ම හතර වන්නේ:
අනාරක්ෂිත ලිංගික හැසිරීම්
රුධිර පාරවිලයනය
ජීවාණුහරණය නොකළ එන්නත් කටු හවුලේ භාවිතය
ආසාදිත මවකගේ මව්කිරි බීම
ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට HIV සහ සිෆිලිස් ආසාදනය වීම වළක්වන ලද රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ. රුධිර පාරවිලයනයෙන් HIV ආසාදනය වීම ද වළක්වා තිබේ. ජීවානුහරණය නොකළ එන්නත් කටු හවුලේ භාවිතය බොහෝ විට කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අයයි. යෝනි හා ගුද සංසර්ගයෙන් HIV ආසාදනය විය හැකිය. එය වළක්වා ගැනීමට හොඳම ක්‍රම වන්නේ වැළකී සිටීම හා කොන්ඩම් භාවිතයයි. HIV ආසාදිතයකු ඇසුරු කිරීමෙන්, ඔහු සමග එකට කෑම ගැනීමෙන් ආදියෙන් වෛරසය පැතිරෙන්නේ නැත. එය පැතිරෙන්නේ අති සමීප ශාරීරික සම්බන්ධකම්වලින් පමණි. වැඩිදුර විස්තර මෙතැනින් >> https://www.aidscontrol.gov.lk/index.php?option=com_content&view=article&id=126&Itemid=295&lang=si
කිසියම් අයකු HIV ආසාදිතයකු වුවත් කුමක් කරන්න ද? ඒ අපේ ම මිනිසෙකි. රෝගියකු වීම වරදක් ද? එම රෝගියාගේ මානව හිමිකම්වලට අත තබන්නට කිසිවෙකුට අයිතියක් නැත. HIV වළක්වාගැනීම අපහසු නැත. එහෙත් කිසියම් හේතුවක් නිසා HIVආසාදනයට ලක් වී සිටින ජනතාවට සමාජයෙන් අගතියක් සිදු නො වීමට වග බලා ගැනීම ද ඉතා වැදගත් ය.
– අජිත් පැරකුම් ජයසිංහ
Social Sharing
අවකාශය නවතම පුවත්