විපක්ෂයේ සියලු දෙනාට ඇත්තේ මහින්ද භීතිකාවක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය නැති කළ යුතු යැයි විපක්ෂය කරන ප්‍රකාශ හුදු ජනප්‍රිය වීම සඳහා ඔවුන් රඟ දක්වන නාටක බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. මහින්ද රාජපක්ෂ යනු මේ රටේ කවරදාකවත් දිනන්නට නොහැකි යැයි කියූ තිස්වසරක යුද්ධය අවසන් කර රට සංවර්ධනය කළ නායකයා බව ද රාජපක්ෂ මහතා කීවේය. මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කළයුතු යැයි සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය ගැන මාධ්‍ය මගින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පරාජය කර යුද්ධය අවසන් කළ පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව යුද අධිකරණයට ගෙන ගොස් අනතුරුව ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එල්ටීටීඊ හිතවාදීන් උත්සාහ කළා. ඉන් අනතුරුව යහපාලන කාලයේ ඩොලර් බිලියන ගණන් විදේශයන්හි සඟවා ඇති බවට අභූත චෝදනා එල්ල කරමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට උත්සාහ කළා. අරගලය වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කළා. දැන් බදු අඩුකොට ජනතාවට සහන සැලසීම නිසා ආර්ථිකය බංකොලොත් කළා යැයි පවසමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තැත්කරනවා. මේවා හුදු ජනප්‍රිය වීම සඳහා විපක්ෂය විසින් සිදු කරන නාටක.තවමත් බිමේ ඡන්දය ඇත්තේ තනි පුද්ගලයකු ලෙස මහින්ද රාජපක්ෂ මහතාටයි. විපක්ෂයේ ඉන්න සියලු දෙනාට ඇත්තේ රාජපක්ෂ භීතිකාවක්.මහින්ද රාජපක්ෂ හැමදාම තීන්දු තීරණ ගත්තේ ජනතාව වෙනුවෙන්. බොහෝ නායකයන් යුද්ධය ඉවර නොකර ජාත්‍යාන්තරය සතුටු කළා. තවත් සමහර නායකයන් ත්‍රස්තවාදීන්ට ආයුධ පවා ලබාදුන්නා. නමුත් මහින්ද මහතා ජනතාව හැර කවුරුන්වත් සතුටු කර තම බලය ආරක්ෂා කර ගැනීමට ගියේ නැහැ.

Social Sharing
නවතම පුවත්