සැප්තැ­ම්බ­රයේ පම­ණක් ළමා ලිංගික අප­යෝ­ජන 168ක්…

මේ වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක් වාර්තා වී ඇති බවත්, ඉන් වයස 16ට අඩු ගැහැනු ළමයින් 22ක් ගැබ්ගෙන ඇති බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. ඒ අනුව ළමයින් සඳහා ලිංගික අධ්‍යපනය දීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම අතිශය කාලීන අවශ්‍යතාවක් බව සිචිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත.

එමෙන්ම සනීපාරක්ෂක පහසුකම් අවශ්‍ය පාසල් ගැහැනු ළමයින් සංඛ්‍යාව නිවැරදිව හඳුනාගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමටත් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

අයවැය යෝජනා මඟින් අවධානය අඩුවෙන් යොමුව ඇති එහෙත් පූර්ණ අවධානය යොමු විය යුතු අංශ ගණනාවක් කෙරෙහි සිවිල් සංවිධාන නියෝජිතයන් කාරක සභාව හමුවේ කරුණු පෙන්වා දී ඇත. එහිදී කාන්තා සුබසාධනයට යොමුව ඇති අවධානය අඩු වී ඇති බවත්, එමඟින් ඇති විය හැකි ගැටලු පිළිබඳ ඔවුහු කාරක සභාව දැනුවත් කළහ. පාසල් ගැහැනු ළමයින්ට මුහුණ දීමට සිදු වන අපහසුතා පිළිබඳව කාරක සභාව තුළ දීර්ඝව සාකච්ජා විය.

එමෙන්ම මෙරට වැඩිහිටි රැකවරණය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නව ප්‍රතිපත්ති සම්පාදනය විය යුතු බවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා කෙරිණි. මානසික සෞඛ්‍යය වර්ධනය උදෙසා පවතින පැරණි පනත සංශෝධනය කරමින් වර්තමානයට ගැළපෙන අයුරින් සකස්වීමේ අවශ්‍යතාව සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පෙන්වා දී ඇත.

2024 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා පිළිබඳවත්, මෙරට සකස්විය යුතු ප්‍රතිපත්ති පිළිබඳවත් අදහස් හා යෝජනා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) ඇතුළු මෙරට සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විශේෂ සාකච්ජාවක් 21 දා පාර්ලිමේන්තුවේදී පැවැති අතර එහිදී මේ කරුණු අනාවරණය විය. ඒ කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් වන එම්.ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, චන්දිම වීරක්කොඩි, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා සහ කාරකසභා සභාපතිවරයාගේ අවසරය මත වීරසුමන වීරසිංහ මහත්වරුන් සමඟ සිවිල් සංවිධන නියෝජිතයෝ පිරිසක් සහභාගි වූහ.

 

Social Sharing
නවතම පුවත්