ඔන්ලයින් සේෆ්ටිය සහ පනත් කෙටුම්පත…

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පෙනීයන්නේ කොමිසමට පනත ප්‍රකාරව ඇති බොහෝ බලතල ක්‍රියාත්මක කිරීම උසාවිය හරහා සිදුවීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් පුද්ගලයන් හා ප්‍රකාශනයේ නිදහස මර්දනය නොකර සමාජ මාධ්‍ය මගින් අගතියට පත්වන පාර්ශ්වයන්ට ඉක්මනින් සාධාරණය ඉෂ්ට කල හැකි ක්‍රමවේදයක් අපට අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාව සයිබර් අවකාශයේ නියාමනය සහ  ක්‍රමවත් බව පිළිබඳ ක්‍රියා මාර්ග ගණනාවක් ගෙන ඇත. ඒවා අතර 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත, 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත,   2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනත සහ 2022 අංක 9 දරණ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත වේ. මිට අමතරව  සයිබර් අවකාශයේ අපරාධ වැළැක්වීම සඳහා ඇතිකරන ලද ආයතන වන්නේ ශ්‍රී ලංකා කොම්පියුටර් හදිසි ප්‍රතිචාර කණ්ඩායම (CERT-CC) සහ ජාතික සයිබර් ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානය (NCSC) වේ. ශ්‍රී ලංකා පොලිසියේ ද සයිබර් අපරාධ පිළිබඳ වෙනම අංශයක් ඇත. මෙහි නවතම අංගය වන්නේ මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතයි. (Online Safety Bill) 2023  සැප්තැම්බර්  15 දින දරන ගැසට් පත්‍රයේ මෙය ප්‍රකාශයට පත් කර ඇත.

මෙය ඉමහත් ආන්දෝලනයට ලක්වූ පනත් කෙටුම්පතක් වන අතර මෙහි ප්‍රතිපාදනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට  පෙත්සම් 51 ක් ඉදිරිපත්වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව කතානායක වරයාට බාරදී තිබුණ අතර එහි තීන්දුව නියෝජ්‍ය කතානායක වරයා විසින් 2023 නොවැම්බර්  7 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලදී.

තීන්දුව  අනුව පනතේ  අංක 3, 5, 7, 9, 11, 12, 13,14, 15,16,17,18,19, 20, 21, 22, 23, 24, 25, 26,27,28,29, 30,31, 32, 36, 37, 42, 45, 53 සහ  56 දරණ වගන්ති සංශෝධන වලින් තොරව එම ආකාරයටම සම්මත කර ගැනීමට අවශ්‍ය නම්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) වගන්තියේ දක්වා ඇති පරිදි නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සම්පුර්ණ මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කල යුතුය.

එසේ නොමැතිව එම වගන්තිවලට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති සංශෝධන පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී කරන්නේ නම් සාමාන්‍ය බහුතර ඡන්දයෙන් පනත සම්මත කළ හැක.

පනත ක්‍රියාත්මක කිරීම සඳහා පත්කරන කොමිෂන් සභාවට පනතේ 11 වන වගන්තිය  යටතේ කොමිසමට ඇති බලතල ගණනාවක්  යටතේ  පහත සඳහන් බලතල ද තිබේ.

(අ) යම් තහනම් ප්‍රකාශයක් හේතුවෙන් අහිතකර ලෙස බලපෑමට ලක්ව ඇති තැනැත්තන්ට එකී තහනම් ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස නියම කරමින් යම් තහනම් ප්‍රකාශයක් පළකරනු ලැබ  ඇති හෝ යම් තහනම් ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම සඳහා ස්වකීය සේවාවන් භාවිතා කරනු ලැබ ඇති තැනැත්තන්ට, සේවා සපයන්නන්ට හෝ අන්තර්ජාල අතරමැදියන්ට විධාන නිකුත් කිරීම

(ආ) මේ පනත යටතේ වරදක් සංයුක්ත වන අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කරන තැනැත්තන්ට එකී ප්‍රකාශය සන්නිවේදනය කිරීම නතර කරන ලෙස දැන්වීම් නිකුත් කිරීම

(ඇ) මේ පනත යටතේ වන තහනම් ප්‍රකාශ සන්නිවේදනය කරන තැනැත්තන්ට එවැනි යම් ප්‍රකාශ සන්නිවේදනය කිරීම නතර කරන ලෙස විධාන නිකුත් කිරීම

(ඈ) තහනම් ප්‍රකාශයක් ඇතුළත් මාර්ගගත ස්ථානයකට ශ්‍රී ලංකාව තුළ සිටින අවසාන පරිශීලකයන් ප්‍රවේශවීම අක්‍රිය කරන ලෙස හෝ ඒ තහනම් ප්‍රකාශය ඒ මාර්ගගත ස්ථානයෙන් ඉවත් කරන ලෙස අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නන්ට හෝ අන්තර්ජාල අතරමැදියන්ට දැන්වීම් නිකුත් කිරීම

(ඊ) තහනම් ප්‍රකාශ ඉවත් කිරීම සඳහා සේවා සපයන්නන්ට, අන්තර්ජාල අතරමැදියන්ට සහ අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නන්ට නිර්දේශ ඉදිරිපත් කිරීම

(ඌ) මේ පනතේ විධිවිධාන යටතේ ප්‍රකාශයට පත් කරන ලද මාර්ගගත ස්ථාන නිශ්චිතව දැක්වීම සහ ඒ මාර්ගගත ස්ථාන හරහා පතුරුවා හරින තොරතුරු සඳහා ප්‍රවේශ වීම අක්‍රිය කරන ලෙසට නිර්දේශ ඉදිරිපත් කිරීම

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ සඳහන් වේ.

“පැමිණිල්ලේ නීතිඥයන් පනත් කෙටුම්පතේ 11 සහ 12 වගන්ති වලින් ඉතා පුළුල් බලතල කොමිසමට ලැබෙන අතර එම බලතල අධිකරණයේ කාර්යභාරයටද අත පොවන බව කියා සිටියහ. මේ සම්බන්ධයෙන් පැමිණිල්ලේ නීතිඥයන් සඳහන් කළේ කොමිසමට  ඔවුන්ගේ අභිමතය පරිදි තහනම් හෝ වැරදි හෝ ප්‍රකාශයක් සන්නිවේදනය කළ ඕනෑම පුද්ගලයකුටහෝ  අන්තර්ජාල සේවා සපයන්නන්ට හෝ අන්තර්ජාල අතරමැදියන්ට  හෝ   දැන්වීම් සහ විධාන යැවීමට හැකියාවක් ඇති බවයි. එයට අමතරව පනත් කෙටුම්පතේ 11 ඊ සහ ඌ වගන්ති යටතේ වෙබ් අඩවි අවහිර කිරීම, නිශ්චිත මාර්ගගත ස්ථානවලට අන්තර්ජාල සේවා නොසපයන ලෙස සේවා සපයන්නන්ට විධාන කිරීම වැනි පුළුල් බලතල කොමිසමට ලැබෙන බව පැමිණිල්ලේ නීතිඥයෝ සඳහන් කළහ. කොමිසම විසින් මෙවැනි බලතල ඔවුන්ගේ අභිමතය පරිදි පාවිච්චි කිරීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 සහ 144 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් වේ.”

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව  අනුව 11 (ඇ) වගන්තිය ඉවත් කර ගන්නා  බව  අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී ප්‍රකාශ කර ඇත. 11 (ඈ ) වගන්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කාරක සභා අවස්ථාවේදී 26(9) වගන්තිය සංශෝධනය කරන බවත් ඒ අනුව  කොමිසමට මහේස්ත්‍රාත් උසාවියට අයදුම්පතක් ඉදිරිපත් කර ඕනෑම පුද්ගලයකුට, අන්තර්ජාල සේවා සපයන්නන්ට හෝ අන්තර්ජාල අතරමැදියන්ට පනතේ ප්‍රතිපාදනවලට අනුගත වන ලෙස විධාන නිකුත් කිරීමට උසාවියෙන් ඉල්ලා සිටිය හැකි බවත් කියා සිටියේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද එක්සත් රාජධානිය 2023 (Online Safety Act 2023) සම්මත කරගත් තවම අනුමත නොවූ පනත අනුව මාර්ගගත සමාජ මාධ්‍ය වේදිකා සම්පාදනය කරන අන්තර් ජාතික සමාගම්වලට නව වගකීම් පවරා  ඇත. පනත් කෙටුම්පතේ මුල් යෝජනා අනුව  නීතික හෝ අනීතික හෝ හානිකර වන යම්  කරුණු මාර්ගගත වේදිකාවල ඒවා පාවිච්චි කරන අය විසින් ඇතුළත් කරන්නේ නම් ඒවා මැඩලීම මාර්ගගත වේදිකා සම්පාදනය කරන අන්තර් ජාතික සමාගම්වල වගකීම වේ.

මෙම යෝජනාව බොහෝ විවාදවලට ලක් විය. එය භාෂණයේ නිදහසට අවහිර කරන බවට බොහෝ තර්ක ඉදිරිපත් කරන ලදී. අවසානයේ තීන්දු වූයේ මාර්ගගත සමාජ මාධ්‍ය වේදිකා සම්පාදනය කරන සමාගම් විසින් නීතික නමුත් හානිකර කරුණු සම්බන්ධ  අවදානම පිළිබඳව තක්සේරුවක් කර එම අවදානම අඩුකිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

මෙම පනත යටතේ කටයුතු කරන  Ofcom නමින් හඳුන්වන සංනිවේදන කාර්යාලයට ලැබී ඇති බලතල අතර විමර්ශනය සඳහා ඕනෑම අයකුගෙන් තොරතුරු ඉල්ලීම, මාර්ගගත සමාජ මාධ්‍ය වේදිකාවල මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට ඇති  අනුකූලතව  සම්බන්ධව එම මාර්ගගත සමාජ මාධ්‍ය වේදිකා විගණනය කිරීම, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතේ ප්‍රතිපාදන අනුගමනය නොකරන සමාජ මාධ්‍ය වේදිකා සමාගමවලට එම ප්‍රතිපාදන බලාත්මක කිරීමේ නිවේදන නිකුත් කිරීම, මෙය පැහැර හරින සමාජ මාධ්‍ය වේදිකා සම්පාදනය කරන අන්තර්ජාතික සමාගම් වලට පවුම් මිලියන 18 ක් හෝ සමාගමේ වාර්ෂික පිරිවැටුමෙන් හෙවත් වෙළෙඳ ආදායමෙන්  10% ක් හෝ යන දෙකෙන් වැඩි මුදල දඩයක් ලෙස ගෙවීමට නියම කිරීම සහ එම බලාත්මක කිරීමේ නිවේදනවලට අනුගත නොවන්නේ නම් මාර්ගගත සමාජ මාධ්‍ය වේදිකා සපයන සමාගම්වල ඉහල නිලධාරීන් නම්කර ඔවුන් පෞද්ගලිකව වගකිවයුතු තත්ත්වයට පත් කිරීම අයත් වේ.

එබැවින් මෙම පනත අනුව Ofcom ආයතනයට මාර්ගගත සමාජ මාධ්‍ය වේදිකා පරිහරණය කරන්නන් එම මාධ්‍ය භාවිතා කරමින් විවිධ අකටයුතුකම් කරන්නේ නම් ඔවුන්ට එරෙහිව  කටයුතු කිරීමේ බලයක් නැත. Ofcom ආයතනයට කටයුතු කළ හැකි වන්නේ මාර්ගගත සමාජ මාධ්‍ය වේදිකා අයිති සමාගම්වලට එරෙහිවයි.

නවසීලන්තයේ 2015 දී සම්මත කරගත් හානිදායක ඩිජිටල් සන්නිවේදන පනත ( Harmful Digital Communications Act 2015) අනුව එම පනත ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය වන Netsafe ආයතනයට පනතේ 8 වන වගන්තිය අනුව  පැමිණිලි බාර ගැනීම, ඒවා සම්බන්ධ විමර්ශන සිදු කිරීම, පැමිණිලි සමථයකට පත් කිරීම වැනි දෑ කළ හැක. පනතේ 11 වන වගන්තිය අනුව වින්දිතයකුට දිස්ත්‍රික් උසාවියට මේ සම්බන්ධව පැමිණිලි කල හැක. දිස්ත්‍රික් උසාවිය අවශ්‍ය නම් විමර්ශනය සඳහා පනත ක්‍රියාත්මක කිරීමේ අධිකාරියේ සහාය පැතිය හැක. තීන්දු දෙන්නේ දිස්ත්‍රික් උසාවිය මගිනි.

ශ්‍රී ලංකාවේ පනතේ විශාල පරාසයක් ආවරණය කරන  අතර නවසීලන්ත පනත මාර්ගගත සන්නිවේදනය හරහා පුද්ගලයන්ට වන හානි අවම කිරීමට උත්සාහ  කරයි. එක්සත් රාජධානියේ පනත දරුවන් සහ වැඩිහිටියන් ආවරණය කරමින් වඩාත් විස්තීර්ණ ප්‍රවේශයක් අනුගමනය කරයි. ශ්‍රී ලංකා පනතේ ප්‍රවේශය කොමිසමට වැඩි බලයක් ලැබෙන නියාමනයයි. නවසීලන්ත පනතේ වින්දිතයන්ට විවිධාකාර සිවිල් විසඳුම් සපයන අතර එක්සත් රාජධානියේ පනත මර්ගගත වේදිකා අයිති සමාගම්වලින් ඒවා පාවිච්චි කරන්නන්ට රැකවරණය බලාපොරොත්තු වේ.

එක්සත් රාජධානියේ ක්‍රියා පිළිවෙත අප වැනි රටකට ක්‍රියාත්මක කිරීම අපහසු වේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පෙනීයන්නේ කොමිසමට පනත ප්‍රකාරව ඇති බොහෝ බලතල ක්‍රියාත්මක කිරීම උසාවිය හරහා සිදුවීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් පුද්ගලයන් හා ප්‍රකාශනයේ නිදහස මර්දනය නොකර සමාජ මාධ්‍ය මගින් අගතියට පත්වන පාර්ශ්වයන්ට ඉක්මනින් සාධාරණය ඉෂ්ට කල හැකි ක්‍රමවේදයක් අපට අවශ්‍ය වේ. සමාජ ජාලවල පැතිරීම සලකා බැලූ විට ඉක්මනින් ක්‍රියා මාර්ග ගැනීම ඉතාමත් අවශ්‍ය වේ.

හර්ෂ ගුණසේන

 

Social Sharing
නවතම පුවත්