පොලීසියට හදිසි ප්‍රථිකාර අවශ්‍යයි.

 

අද ප්‍රධාන මාධ්‍ය කිහිපයක පොලීසියේ ගෞරවයට හානි වන පුවත් කිහිපයක් පලවී තිබුණි. ඉන් ප්‍රධාන පුවත වන්නේ පොලිස්පතිගේ සිව්වැනි සේවා දිගුව ලබා දීමට ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව පුවතයි. නව පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට නොහැකිවීම නිසා විශ්‍රාමික පොලිස්පතිවරයා වෙත මේ වන විට සේවා දිගු තුනක් ලබා දී තිබේ. මේ හේතුවෙන් යම්කිසි ව්‍යාකූලත්වයක් පොලිස් සේවය තුළ නිර්මාණය වී ඇත. එමෙන්ම, එය විධායකය හා ව්‍යවස්ථාදායකය අතර සීතල යුද්ධයක් බවට ද පත්වෙමින් තිබේ.

මේ අතර පොලිස් නිළධාරීන්ගේ විනය පිරිහී ඇති ප්‍රමාණය තේරුම් ගැනීමට හැකිවන ආකාරයේ තවත් ප්‍රවෘතියක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් මේ දිනවල සැරිසරමින් තිබේ. ඒ බුදුපිළිමයක් වාහනේ ගසාගෙන ගිය වරදට පොලිස් නිළධාරියෙක් පෙට්ට්‍රල් ලීටරයක අල්ලසක් ගැනීමේ සිද්ධියයි. මේ අත්දැකීමට මුහුණ දුන් තැනැත්තා පුරවැසියෙකු ලෙස ඊට එරෙහිව මැදිහත්වීම පැසසුම් සහගතය.

ඉන් එහා ගිය තවත් සිද්ධි දෙකක් දෙනියාය පොලීසියෙන් වාර්තා වේ. දෙනියාය පොලීසියට අනියුක්තව කටයුතු කළ නිළධාරීන් දෙදෙනෙකුගේ විසින් සිදු කළ නොමනා ක්‍රියාවක් නිසා එක් නිළධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අද (20) වාර්තා වේ. මෙවැනිම අත්දැකීමකට මුහුණ පෑ අනෙක් නිළධාරියා උපන් ඇදුමෙන් පැන ගොස් ඇති නිසා ජීවිතය ආරක්ෂා කරගෙන ඇත. පළමු සිද්ධියට අදාල විවාහකයෙකු වූ පොලිස් නිළධාරියා තම සහෝදරිය (26) සමග පවත්වන අනියම් ⁣සම්බන්ධතාවය නවත්වන ලෙස කළ ඉල්ලීම් දිගින් දිගටම ප්‍රථික්ෂේප කිරීම නිසා ඇති වූ බහින් බස්වීමේ ප්‍රථිපලයක් ලෙස අදාල තරුණියගේ සොයුරු හිමිනම (18) තියුණු ආයුධයකින් කළ පහර දීම නිසා අදාල නිළධාරියා බරපතල තුවාල ලබා ඊයේ (19) මිය ගොස් තිබේ. මෙම සිදුවීම දෙනියාය පල්ලේගමින් වාර්තා වේ.

දෙනියාය පොලීසියේම රාජකාරී කරන විශේෂ රාජකාරී සදහා වැලිගම පොලීසියට අනුයුක්තව කටයුතු කළ මෙම අනෙක් නිළධාරියා මිදිගම ප්‍රදේශයේ කාන්තාවක් සමග සිටියදී හදිසියේ අදාල කාන්තාවගේ සැමියා එහි පැමිණීම හේතුවෙන් නිරුවතින් පැන යාම නිසා ඔහුගේ ජීවිතය අනූනමයෙන් ආරක්ෂා වී තිබේ. මෙම සිද්ධිය පසුගිය 16දා වාර්තාව විය. මෙවැනි සිද්ධි මගින් පෙන්නුම් කරන්නේ රටේ සාමය හා විනය ආරක්ෂා කිරීමට පත්කර ඇති නිළධාරීන් වත්මන් තත්ත්වයයි. මේ කඩාවැටීම වහා පිළියම් යෙදීම රජයෙත්, ඉහල නිළධාරීන්ගෙත් රටේ පුරවැසියාගෙත් වගකීමයි.

Social Sharing
නවතම පුවත් විශේෂාංග