මහනුවර දළදා පාර සම්බන්ධ නඩුව ඉදිරියට යාමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර 

දළදා මාලිගාව ආසන්නයේ පවතින මාර්ගය සම්බන්ධ නඩුව වසර 7කට පසු ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. 2016 වසරේදී මහනුවර දළදා මාලිගයට ආසන්න මාර්ගය නැවත විවෘත කරන ලෙස පැවති උද්ඝෝෂණයක් අතරතුරදී සිදුවූ පහර දීමක් සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුවක් ගොනුවූ අතර අදාල පහර දීම සම්භන්ධයෙන් චෝදනා ලැබූ ස්වාමීන් වහන්සේ ඒ සඳහා සමාව ගැනීමෙන් අනතුරුව එය සමථයකට පත් විය.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් නීතීඥ වැලිඅමුණ මහතා මාර්ගයෙන් මුලික අයිතිවාසිකම (FR) නඩුවක් ගොනු කල අතර එය වසර 7 කට පසුව ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස තීරණය කර තිබේ.

මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය 1998 සිදු වූ LTTE පහර දීමත් සමග වසා දැමීය. යලිත් 2002 දී  ජනතාවගේ ඉල්ලීම මත එය විවෘත කිරීමක් සිදු වුවද කෙටි කලකින් මාර්ගය වසා දැමීමට බලාදාරීන් කටයුතු කරන ලදී. මෙම මාර්ගය වසා තැබීමෙන් මහනුවර නගරයේ රථවාහන තදබදයක් නිර්මාණය වූ අතර පෙරදී භාවිතා කල බස් මන්තීරුවද නොමැති වීම නිසා ජනතාව අපහසුතාවට පත් වීම සිදුව පවතිනවා.

මේ වන විට අදාල මාර්ග තදබදය තව දුරටත් වර්ධනය වන අතරම ඒ හේතුවෙන් මහනුවර නගරයට දැඩි පාරිසරික බලපෑමක් ඇති කර තිබෙනවා. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ වායු දූෂණයෙන් ඉහලම නගරය බවට පත්ව ඇත්තේ එවන් පසුබිමකයි.

මහනුවර නගරය කඳු වලින් වටවී තිබීමත්, එය පහත් බිමක පිහිටීමත් හේතුවෙන් මෙම පරිසර දූෂණය ඉහල ගිය අතර එය මේ වනවිට සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව පවතිනවා. මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි සහිතව විශේෂඥ වෛද්‍ය අනෝමා සිරිබද්ධන මහත්මිය පෙන්වා දීමට කටයුතු කරනු ලැබුවා. එසේම රසායන විද්‍යා මහාචාර්ය ඉලයප්පෙරුම මහතා පර්යේෂණ පත්‍රිකාවක් මඟින් මෙය ප්‍රසිද්ධියට පත් කර තිබේ

මෙම මාර්ගය විශේෂ පුද්ගලයන් සඳහා පමණක් විවෘත කිරීමට කටයුතු කරන අතර එය පොදු මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමෙන් දළදා මාලිගාවට හානියක් නොවන බවයි ෆේස්බුක් සටහනක් තබමින් පැමිණිලිකාර පාර්ශයේ ආචාර්ය ආරියරත්න මහතා ප්‍රකාශ කර සිටින්නේ. මෙය 2015 වර්ෂයේදී විවෘත කිරීම සඳහා එවක ජනාධිපතිවරයාව් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමට එම පැමිණිලිකාර පාර්ශවය කටයුතු කර තිබුණා. ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කලද අස්ගිරි මහනායක හිමියන්ගේ බලවත් විරෝධය ඊට මතු වීම හේතුවෙන් එය සිදු කිරීමට නොහැකි වූ බවයි ආරියරත්න මහතා පෙන්වා දී ඇත්තේ.

Social Sharing
නවතම පුවත්