වැරදි මූල්‍ය කළමනාකරණ කතාව මම පිළිගන්නේ නෑ!

“වැරදි මූල්‍ය කළමනාකරණය නිසා රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී යැයි ලබා දුන් තීන්දුව පිළිබඳ බොහොම පැහැදිලිව කිව යුතු වෙනවා එම අදහස මම පිළිගන්නේ නැහැ” යැයි හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ 15 දා පැවැති ආගමික වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී මහා සංඝරත්නය හැත්තෑඅට නමක් විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් පැවැත්වෙයි. ඊට සමගාමීව පැවැත්වෙන ගිලන්පස පූජාවට සහභාගි වූ රාජපක්‍ෂ මහතා අනතුරුව මෙසේ ද පැවසීය.

රටේ ජනතාව දන්නවා අපි මොනවාද රට වෙනුවෙන් කළේ කියලා. ඒ නිසා අපි ග්‍රාමීය නාගරික සියලු ජනතාව වෙනුවෙන් ඉදිරියේදී පක්ෂයක් ලෙස පෙනී සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි සැලසුම් කර තියෙන්නේ අපේ පක්ෂ සම්මේලනය ඉතා ඉහළින් පවත්වන්න. සැම දිස්ත්‍රික්කයකම, ආසනයකම සාමාජිකයන් ගෙන්නන්න තමා බලාපොරොත්තුව. වැරදි මූල්‍ය කළමනාකරණය නිසා රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ බොහොම පැහැදිලිව කිව යුතු වෙනවා එම අදහස මම පිළිගන්නේ නැහැ කියලා. නිදහසට කරුණු අධිකරණයේ දක්වන්න යම් අවස්ථාවක්, යම් වෙලාවක් ඒවි. එවිට උත්තර ලබා දීමට කටයුතු කරනවා.

අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ කීවේය

මේ අයවැය පරාද කරන්න හේතුවක් නැහැ. දැනට අපේ අය කවුරුත් අය වැය පරාද කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. අපි එකට ඉන්න විට යම් කෙනකුට පොඩි පොඩි අඩු ලුහුඩුකම් තිබුණත් ඔක්කොම එකට යන ගමනක් මේක. ඒ නිසා අවශ්‍ය හොඳම දේ වෙනුවෙන් අපි පක්ෂයක් ලෙස පෙනී සිටිනවා. ඒ වගේම අපි ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට සූදානම්”

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ, තිලක් රාජපක්ෂ, සිරිපාල ගම්ලත්, තේනුක විදානගමගේ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු ද එක්වූහ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

Social Sharing
ආර්ථික නවතම පුවත්