ආර්ථික විනාශයට වගකිව යුතු බවට හඳුනාගත් පිරිස ජනතාවට වන්දි ගෙවිය යුතුයි!

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැලැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු 5 දෙනාට විපතට පත් ජනතාවට වන්දි ගෙවන ලෙසට නියෝග කළ මහාධිකරණය නියෝග කළ පරිදි ආර්ථික විනාශයට වගකිව යුතු බවට හඳුනාගත් පිරිස ජනතාවට වන්දි ගෙවිය යුතු බව නියෝග කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (15) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මේ බව සඳහන් කෙළේ 2024 වසර සඳහා වන අය වැය විවාදයට එක් වෙමිනි.

තවදුරටත් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මෙසේ ද පැවසීය.

රටේ වත්මන් ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වගකිව යුතුයි. ඒ වගේම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන්, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඇතුළු මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඬුල්ල පිටු 265කින් තීන්දු කර ඇත.

ඉරිදා බෝම්බ ප්‍රහාරය වැලැක්වීමේ චෝදනාවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු 5 දෙනෙකුට විපතට පත් වූවන්ට වන්දි ගෙවන ලෙසට එම මහාධිකරණය නියෝග කර තිබිණි. එහෙත් රටේ වත්මන් ආර්ථික අර්බුදයට රාජපක්ෂ සහෝදරයන් වගකිව යුතු යැයි ප්‍රකාශ කළ මහාධිකරණය ඔවුන්ගෙන් විපතට පත් සෑම පුරවැසියෙකුටම වන්දි ගෙවන ලෙස නියෝග නොකළේ මන්ද?.

රාජපක්ෂ සහෝදරයන්ට ඕනෑ තරම් සල්ලි තියෙනවා. පිටරටවලත් මුදල් තැන්පත් කරනවා. ඒ මුදල් එළියට ගෙන ඒමෙන් රටේ ආර්ථික අර්බුදය යම්තාක් දුරකට විසඳන්න පුළුවන්. රටේ මුදල් කාබාසිනියා කළ නිසා තමයි ආර්ථික අර්බුදය ඇති වුණේ. ඒ නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වෙනවා. එබැවින් රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතු රාජපක්ෂ සහෝදරයන් රටේ සෑම පුරවැසියකුටම වන්දි ගෙවිය යුතු බවට මහාධිකරණය නියෝග කළ යුතුව තිබුණා.

Social Sharing
ආර්ථික නවතම පුවත්