අය වැය යෝජනාවල ප්‍රධාන ඉලක්කය අපනයන ආර්ථිකය දිරිගැන්වීමයි…

මෙවර අයවැය යෝජනාවල ප්‍රධාන ඉලක්කය අපනයන අභිමුඛ ආර්ථීකයක් සඳහා විශාල දිරිගැන්වීමක් දීම බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම සහ ඔවුන් මුහුණ දෙන ගැටලු විසඳාගැනීමට මඟ පෙන්වීම උදෙසා ජාතික රූපවාහිනිය විසින් ආරම්භ කිරීමට නියමිත Connect Sri Lanka වැඩසටහනට අදාළ යෝජනාවලිය සහ ව්‍යාපාරික ගිවිසුම හුවමාරු කරගැනීම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු වූ අවස්ථාවේදීය.

මෙරට රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නිරත විදේශීය දූත මණ්ඩලද ඉලක්ක කරගනිමින් නව සංකල්පයක් යටතේ මේ වැඩසටහන සැලසුම් කර ඇත.

විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා සහ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අතර මෙහි යෝජනාවලිය හුවමාරු කරගනු ලැබූ අතර, වැඩසටහනට සම්බන්ධ ව්‍යාපාරික ගිවිසුම රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසේකර මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා අතර හුවමාරු විය.

මේ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා:

“ජාතික වශයෙන් ඉතා වැදගත් වගකීමක් ඉටු කරන අවස්ථාවක් ලෙස මේ අවස්ථාව හැඳින්විය හැකියි. රට ගත් විදේශ ණය ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් නැහැ. ඊට ඇත්තේ ආර්ථික විසඳුමක් පමණයි. මේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉදිරිපත් කළ මෙවර අයවැය යෝජනාවල ප්‍රධාන ඉලක්කයක් වන්නේ අපනයන අභිමුඛ ආර්ථීකයක් සඳහා විශාල දිරිගැන්වීමක් දීමයි. ඒ සඳහා සාම්ප්‍රදායිකව අප අනුගමනය කරන භාණ්ඩ විවිධාංගීකරණය, වෙළෙඳපොළ විවිධාංගීකරණය, නව්‍යකරණය ඇතුළු සාධක ගණනාවක් පවතිනවා. එහෙත් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ ඔවුන්ට පවතින සැබෑ ගැටලු පාලකයන් සහ සැලසුම්කරුවන් විසින් හඳුනා නොගැනීම සහ ඔවුන්ට හඬක් නැති වීමයි.

“මේ වන විට බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ ඉහළම තලයේ සිටින සාර්ථක අපනයනකරුවන් කිහිප දෙනකු වෙත පමණයි. ඊට පහතින් සිටින හඬක් නැඟිය නොහැකි අපනයනකරුවන්ගේ ගැටලුවලට සවන් දීමට කිසිවෙකුත් නැහැ. උදාහරණයක් වශයෙන්: මෙරට ප්‍රධාන පෙළේ පාපැදි අපනයනකරුවන්ට මීට වසර කිහිපයකට පෙර යුරෝපා සංගමය මඟින් තහනමක් පනවනු ලැබුවා. ඊට හේතු වූයේ ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් සමාගම් අනුගමනය කළ යම් යම් වැරදි ක්‍රියාමාර්ගයි. ඒ තහනමට එරෙහිව දේශීය කර්මාන්තකරුවන් විසින් යුරෝපා සංගමය සමඟ අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමු වී ඒ නඩුව ජයග්‍රහණය කළා. ඉන් අනතුරුව ඉහළ උසාවියේදීද ඒ තීන්දුවම හිමි වුණා. ඒත් තවමත් ඔවුන්ගේ ගැටලුවට නිසි විසඳුමක් ලැබී නෑ. මෙවැනි ගැටලු ජාතික මාධ්‍ය තුළ කතාබහට ලක් විය යුතුයි. ජාතික රූපවාහිනිය Connect Sri Lanka වැඩසටහන ආරම්භ කරනු ලබන්නේ එවැනි හඬක් නැති අපනයනකරුවන්ට, මධ්‍යම පරිමාණ කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ට වගකිව යුතු නිලධාරීන් ඇතුළු අංශ සමඟ ප්‍රසිද්ධ කතිකාවක් ඇති කිරීම සඳහායි. ඒ සඳහා නිසි දැනුවත් කිරීමක් සිදු කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කිරීම පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් අනුමත කරනු ලැබුවා. ඒ මඟින් සමාජය තුළ විශාල පිරිසකගේ අවධානයට මෙවැනි නව නිර්මාණකරුවන් යොමු වන අතරම සෑම අංශයක්ම දැනුවත් කිරීමේ හැකියාවද පවතිනවා. ගම් මට්ටමේ සිටින නව නිර්මාණකරුවන් හා ව්‍යවසායකයන්ද දායක කරගනිමින් රට ගොඩනැඟීමට දරන ජාතික ප්‍රයත්නයෙහි දායකත්වය දරන සියලු දෙනා ඉටු කරන්නේ ජාතික යුතුකමක් සහ වගකීමක්.”

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ජාතික රූපවාහිනිය ඇතුළු ආයතනවල නිලධාරීන් ඇතුළු නියෝජිතයෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සුභාෂිණී සේනානායක

Social Sharing
ආර්ථික නවතම පුවත්