අය වැය මූණදෙන අභියෝග…

පසුගිය ඔක්තෝබර් 30 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී 2024 වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වෙන පරිදි එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බැද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමටත් දැනට බද්දට යටත් නොවෙන සමහර භාණ්ඩ හා සේවා බද්දට යටත් කිරීමටත් නව බදු වර්ග කිහිපයක් හඳුන්වා දීමටත් අනුමතය හිමි විය.

ඉන් පසු ආනයනික සීනි කිලෝවක් සඳහා අය කරන ශත 25 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා වැඩි කිරීමත් සමග උද්ගත වූ තත්ත්වයත් සමග මේ දිනවල බදු පිළිබඳව වැඩියෙන් සාකච්ඡා වේ. ශ්‍රී ලංකා ආර්ථිකය ද්විත්ව අර්බුදයකට මුහුණ දී සිටියි. එනම්, අභ්‍යන්තර අසමතුලිතතාව හා බාහිර අසමතුලිතතාවයි. අභ්‍යන්තර අසමතුලිතතාව යන්නෙන් අදහස් වෙන්නේ අයවැය හිඟයයි. රජයේ ආදායම හා වියදම අතර පරතරයයි. බාහිර අසමතුලිතතාව යනු, ගෙවුම් ශේෂ හිඟයයි. එනම්, ආනයන වියදම් හා අපනයන ආදායම් අතර තිබෙන පරතරය පියවා ගැනීමට නොහැකි වීමයි.

තවදුරටත් අභ්‍යන්තර අසමතුලිතතාව ගැන කතා කරන්නේ නම්, එය කාලයක් තිස්සේ පැවති ප්‍රශ්නයකි. වාර්ෂික අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 7 ක් හෝ 8 ක් හෝ යැයි ප්‍රකාශ වුවද සත්‍ය අගය සියයට 12 ක් පමණ විය. බලයේ සිටි ආණ්ඩු මේ අයවැය පරතරය පියවා ගනු ලැබුවේ දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ණය ගැනීම මගිනි. එහෙත් එය නිවැරදි ක්‍රියාමාර්ගයක් නොවේ. ශ්‍රී ලංකාව 2022 වසරේදී විදේශීය ණය නොගෙවන බව නිවේදනය කළ හෙයින් දැන් අපට කිසිදු විදේශීය මූලාශ්‍රයකින් ණය ගත නොහැකිය. නව මහ බැංකු පනත අනුව මහ බැංකුවට අභිමත පරිදි මුදල් මුද්‍රණය කළ නොහැකි බැවින් ආණ්ඩුවට දැන් මහ බැංකුවෙන් මුදල් ණයට ගැනීමට ද නොහැකිය. මේ පසුබිමේ අයවැය හිඟය පියවා ගැනීමට තිබූ උභය මාර්ග ඇහිරී ඇත. අයවැය හිඟය පියවා ගන්නේ කෙසේද යන උභතෝකෝටිකයට ආණ්ඩුව මැදිව සිටියි.

රජයේ කටයුතු පවත්වා ගෙන යෑමට ආදායම් අවශ්‍ය වේ. එහිදී වර්තන හා ප්‍රාග්ධන වියදම් ප්‍රධාන වේ. ඒ සඳහා රජය ආදායම් උපයන්නේ බදු හා බදු නොවන ආදායම් (ප්‍රදාන ද ඇතුළුව) මගිනි. රජයේ සමස්ත ආදායමෙන් සියයට 87 ක් ජනනය වෙන්නේ බදු මගිනි. ඉතිරි සියයට 13 උපයන්නේ බදු නොවන ආදායම්වලිනි. මෙයින් පැහැදිලි වෙන්නේ රජයේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය බදු බවය. බදු ආදායම්වල ප්‍රධාන මූලාශ්‍රය වෙන්නේ වැට් බද්දයි. ඊට අමතරව ආදායම් බද්ද, සුරා බදු, විදේශ වෙළෙඳාම මත පනවා ඇති බදු, සමාජ ආරක්ෂණ බද්ද, සමාගම් බදු ආදී වශයෙන් තවත් බදු වර්ග රැසක් ක්‍රියාත්මක වේ. මේ අනුව බදු අය නොකර අපේක්ෂිත ආදායම් ළඟා කර ගන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතා වැඩසටහනට අනුව, 2023 වසර සඳහා රජයේ අපේක්ෂිත සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන 3.1 කි. සැප්තැම්බර් වෙන විට රජයට එයින් උපයා ගැනීමට හැකි වී තිබෙන්නේ රුපියල් ට්‍රිලියන 1.64 ක් පමණි. ඒ අනුව, මේ වසර අවසාන වනවිට රජයට ඉපැයීමට හැකි වෙන්නේ අපේක්ෂිත බදු ආදායමට වඩා රුපියල් බිලියන 637 කට අඩු මුදලකි. එය අපේක්ෂිත බදු ආදායමට වඩා සියයට 20 ක පහළ යෑමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉකුත්දා අවසන් කළ පළමු සමාලෝචනයේදී ද මෙය ප්‍රශ්නයක් විය. මේ සන්දර්භයේ බදු ආදායම් වැඩි කිරීම හැර රජයට වෙනත් විකල්පයක් නැත. එහිදී කවර බදු මූලාශ්‍ර මගින් ආදායම් ඉහළ නංවා ගන්නේ ද යනු, රජයට මේ මොහොතේ ඇති ප්‍රධාන ප්‍රශ්නයයි.

මේ වනවිටත් පුද්ගල ආදායම් බදු සියයට 36 දක්වා ක්‍රියාත්මක වේ. එබැවින් එම බදු තවත් වැඩි කිරීමේ හැකියාවක් නොමැත. ආදායම් බද්ද අය කරන සීමාව රුපියල් ලක්ෂය දක්වා අඩු කිරීම නිසා කලකිරුණු වෘත්තිකයෝ රට හැර යමින් සිටිති. එයින් උද්ගත විය හැකි වක්‍ර බලපෑම වටහා ගැනීම වැදගත්ය. ආදායම් බද්ද ඉහළ නැංවීම හේතුවෙන් පුද්ගලයන්ගේ වැය කළ හැකි ආදායම අඩු වෙන අතර ඊට සාපේක්ෂව වෙනත් පැතිවලින් රජයට ලැබෙන බදු ආදායම් ද අඩු වේ. නිදසුනක් ලෙස මේ වනවිට සුරා බදුවලින් රජයට ලැබෙන ආදායම් සැලකිය යුතු අගයකින් අඩු වී තිබේ. ඊට හේතුව, මත්පැන් සහ දුම්වැටි සඳහා කරන වියදම් අඩු වී තිබීමය.

වර්ෂ 2022 පළමු මාස හයක කාලයේදී සමාගම් බද්ද මත රජයේ උපයා තිබුණේ රුපියල් බිලියන 213 කි. 2023 වසරේ පළමු මාස හයේදී එම අගය රුපියල් බිලියන 244 දක්වා සුළු ප්‍රතිශතයකින් පමණක් වැඩි වී ඇත. 2022 මුල් මාස හයේදී වැට් බදු ආදායම රුපියල් බිලියන 121 ක් වූ අතර එම අගය මේ වසරේ මුල් මාස හය ඇතුළත රුපියල් බිලියන 230 දක්වා සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබේ. අලුතින් හඳුන්වා දුන් සමාජ ආරක්ෂණ බද්ද මගින් රුපියල් බිලියන 70 ක් එකතු කර ගෙන ඇත. බිලියන 8.6 සිට බිලියන 60 දක්වා රඳවා තබා ගැනීමේ බදු ආදායම් සලකා බලන කාලයේදී ඉහළ ගොස් තිබේ. මේ සංඛ්‍යා දත්ත පිරික්සීමේදී පැහැදිලි වෙන්නේ වැට් බද්ද හැරුණු විට සෙසු බදුවලින් රජයට වැඩි ආදායමක් නොලැබෙන බවය. මේ නිසා දැනට අය කරන වැට් බදු අනුපාතය සියයට 18 දක්වා ඉහළ නැංවීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ලබා දී ඇති ආදායම් ඉලක්කය වෙත ළඟා විය හැකිය යන්න රජයේ අදහසයි. බදු වැඩි කිරීම හොඳ දෙයක් නොවුණ ද රජයට මේ අවස්ථාවේ වැට් බදු අනුපාතය ඉහළ නැංවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මගේ අදහසයි.

මේ වනවිට රටේ ඉන්ධන, ගෑස්, ආහාර ආදී භාණ්ඩවල හිඟයක් නැති නිසා ආර්ථිකය යහපත්ය යන්න ඇතැමුන්ගේ මතයයි. එහෙත් සත්‍ය එය නොවේ. විදේශ ණය ගෙවීම නතර කළ හෙයින් රටට ලැබෙන ඩොලර්වලින් ඉහත කී භාණ්ඩ ආනයනය කිරීමට හැකි වී තිබේ. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා තවදුරටත් සිදු වේ. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක වුව ද අපට විදේශ ණය නොගෙවා සිටිය හැක්කේ තවත් අවුරුදු දෙකක් හෝ තුනක් හෝ පමණි. ඉන්පසු අනිවාර්යයෙන්ම අපට විදේශ ණය ගෙවීම ආරම්භ කිරීමට සිදු වේ. එවිට රජයේ ආදායම හා වියදම අතර පරතරය තවත් ප්‍රසාරණය වේ. ඒත් සමගම දේශීය ණය ගෙවීමට ද සිදු වෙනු ඇත.

මේ පසුබිමේ ලබන වසරේ ජනවාරි සිට තවත් බදු කිහිපයක් පැනවීමට යෝජනා වී තිබේ. දැනට වැට් බදු අය කරන්නේ බදු අය කළ හැකි භාණ්ඩ හා සේවා සැපයුම වාර්ෂිකව රුපියල් මිලියන 80 ඉක්මවන පුද්ගලයන්ගෙනි. සිදුකිරීමට නියමිත සංශෝධනයේ දී මේ සීමාව වර්ෂයකට රුපියල් මිලියන 20 දක්වා අඩු කිරීමට යෝජනා වී ඇතැයි ද දැනගන්නට ඇත. එසේවුව හොත් බදු අය කළ හැකි සැපයුම වාර්ෂිකව රුපියල් මිලියන 20 ඉක්මවන පුද්ගලයන් වැට් බද්දට යටත් වේ. ඊට අමතරව ලබන ජනවාරි සිට ධන බද්ද හඳුන්වා දීමට ආණ්ඩුව සූදානම් වේ. එය අලුත් බද්දක් නොවන අතර 1958 සිට 1992 දක්වා ක්‍රියාත්මක විය. නැවත තෑගි බද්ද ද හඳුන්වා දෙන බව ආණ්ඩුව කියයි. එසේම ප්‍රවේණි බද්ද ද පැනවීමට ආණ්ඩුව අදහස් කරයි. මේ ආකාරයට විවිධ බදු මගින් ආදායම් ඉපැයීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටියි. එහෙයින් ඉදිරි කාලයේදී අපට බදු සහන බලාපොරොත්තු විය නොහැකිය.

පවතින තත්ත්වය හමුවේ මිනිස්සු දැඩි පීඩාවට පත්ව සිටිති. බද්දක් යනු හැමවිටම මිනිසුන්ගේ වැය කළ හැකි ආදායමකි. යම් සීමාවක් දක්වා බදු අය කළ හැකි වුව ද එම සීමාව ඉක්මවා ගිය විට සිදු වෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන තත්ත්වය කඩා වැටීමය. අනෙක් පැත්තෙන් මේ බදු රටේ ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපායි. රටේ ආර්ථිකය හොඳ තත්ත්වයක පවතින විටෙක විශේෂයෙන්ම හොඳ ආර්ථික වර්ධන වේගයක් පවතින විටෙක බදුවලින් සිදු විය හැකි අයහපත් බලපෑම අල්පය. එහෙත් ආර්ථිකය බිඳ වැටී ඇති අවස්ථාවක සෘණ ආර්ථික වර්ධන වේගයක් පවතිද්දී බදු වැඩි කිරීම නිසා එයින් තවදුරටත් ආර්ථිකය අඩාළ කරයි.

ආර්ථිකයක් හොඳින් ක්‍රියාත්මක වීමට නම් ගනුදෙනු සිදු විය යුතුය. නිෂ්පාදන ක්‍රියාවලියත් පරිභෝජන ක්‍රියාවලියත් සිදු විය යුතුය. මිනිසුන්ගේ ආදායම් අඩු වනවිට මේවා අඩපණ වේ. ඉල්ලුම සංකෝචනය වීම නිසා නිෂ්පාදකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නුපුළුවන. එවිට වෙන්නේ නිෂ්පාදනය අඩු වීමය. එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධන වේගය අඩු වේ. එබැවින් ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක තවදුරටත් බදු අය කිරීමෙන් ප්‍රශ්නය උග්‍ර වේ.

අද (13) දින ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු වෙනු ඇති බවට අපේක්ෂාවක් තිබේ. මෙරට සිටින සමස්ත රාජ්‍ය සේවකයන් ගණන ලක්ෂ 14 ක් පමණ වේ. රටේ සෙසු ජනතාව භාණ්ඩ මිලදී ගන්නේත් රාජ්‍ය සේවකයන් මිලදී ගන්නා මිල ගණන්වලටමය. එහෙත් ඒ ජනතාවගේ ආදායම් වැඩි වෙන්නේ නැත. රාජ්‍ය සේවකයන්ගේ පමණක් වැටුප් වැඩි කිරීමෙන් වෙන්නේ ඒ ජනතාවගේ ජීවන තත්ත්වය තවත් කඩා වැටීමකි. එබැවින් මේ අවස්ථාවේ වඩාත් යෝග්‍ය වන්නේ වැටුප් වැඩි කිරීම වෙනුවට බදු අඩු කිරීමය. එවිට සෑම කෙනකුටම සහනයක් ලැබේ.

***
සාකච්ඡා සටහන – උපුල් වික්‍රමසිංහ

Social Sharing
ආර්ථික නවතම පුවත්