ඇමති රොෂාන්ගෙන් ICC යට අභියාචනයක් – නොවැම්බර් 21 තීරණාත්මකයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට නුදුරේදීම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

කොළඹදී ඊ‍යේ (11) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ අයිසීසීය මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරන ලද ඉල්ලීමකට අනුව බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයක දේශපාලන බලපෑම් හෝ අතපෙවීම් කර නැතැයි පැවසූ අමාත්‍යවරයා මුළු පාර්ලිමේන්තුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලකයන් ගෙදර යා යුතු බව එකහෙළා අනුමත කළ බවද සඳහන් කර සිටියේය.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පනවා ඇති තාවකාලික තහනම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමර්ග නොවැම්බර් 21 වැනිදා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ රැස්වීමේ දී තිරණය කරනු ඇති බවයි.

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන රැස්වීම නොවැම්බර් 18 සිට 21 දක්වා අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිත අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීම නොවැම්බර් 21 වැනිදා පැවැත්විමට නියමිතය.

Social Sharing
නවතම පුවත්