ඉරානය-ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරනවා -ශ්‍රී ලංකාවේ ඉරාන නව තානාපති…

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් පුළුල් කිරීමට තම රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඉරාන නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් මහතා පැවැසීය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරානයේ නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් මහතා අතර අරලියගහ මන්දිරයේ ඊයේ (06) පැවැති හමුවේදී තානාපතිවරයා එසේ කියා සිටියේය.

අතීතයේ සිටම දෙරට අතර පවතින මිත්‍රත්වය සහ සමීප සමාජ සංස්කෘතික සබඳතා පිළිබඳව තානාපතිවරයා එහිදී සිහිපත් කෙළේය.

වත්මන් ආර්ථික ගැටලුවලින් කඩිනමින් යථා තත්ත්වයට පත්වීමට මෙන්ම සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳව ද අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉරානයට ස්තූති කෙළේය.

අගමැති ලේකම් අනුර දිසානායක, ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික සහ කොන්සියුලර් අංශයේ ප්‍රධානී කේ. සොහීල් ද මහත්වරුන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

Social Sharing
නවතම පුවත් විදෙස්