නව බස් ගාස්තු සංශෝධනය මගී අයිතීන් උල්ලංඝනය කිරීමක්!

නියඟයෙන් පීඩිත වැසියන්ගේ අවසන් දිය බිඳත් උරා ගන්නා මිරිඟුවක් මෙන්, මෙරට ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාවගේ සාක්කුවට විදින නවතම බස් ගාස්තු සංශෝධනය හරහා පාරිභෝගික සහ ආර්ථික අයිතිවාසිකම් සූරාකෑමේ අමිහිරි පරිච්ඡේදයක් නිල වශයෙන් ආරම්භ වී තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වාර්ෂික බස් ගාස්තු සංශෝධනය, මගී ජනතාවට සහන සැලසීමේ පරමාර්ථයෙන් බැහැරව, මගීන්ගේ ධනය අනිසි ලෙස පරිහරණය කිරීමට සහ ප්‍රවාහන සේවකයින්ට අසාධාරණ ලෙස පොහොසත් වීමට (Unjust Enrichment) බලධාරීන් විසින් සලසා දුන් අනීතික අනුග්‍රහයකි. රුපියල් 34, රුපියල් 44 සහ උපරිම දුර සේවා සඳහා රුපියල් 5571 ක් වැනි ප්‍රායෝගික නොවන අසම්පූර්ණ ගාස්තු නියම කිරීම තුළින්, අවසාන ප්‍රතිඵලය ලෙස මාරු සල්ලි හිඟකම මත මගී ජනතාව නීති විරෝධී ලෙස සූරාකෑමකට ලක්වන බව පෙනී යයි.

සාමාන්‍යයෙන් රුපියල් 5571 ක බස් ගාස්තුවක් නියම වූ විට, නීත්‍යානුකූල පියවීම් යටතේ මගියාට රුපියල් පහක හෝ නවයක ඉතිරි මුදලක් (Balance) ලැබීමට පූර්ණ නෛතික අයිතියක් පවතී. එහෙත් මෙරට බස් කොන්දොස්තරවරුන් කිසිදු වගකීමකින් තොරව “මාරු සල්ලි නැතැයි” පවසමින් එම පාරිභෝගික මුදල් තමන් සන්තක කරගැනීම සාධාරණීකරණය කරන අතර, මගියා සතුව නියමිත සිල්ලර කාසි නොමැති සෑම අවස්ථාවකම ඔහු වංචනික ලෙස මූල්‍යමය පාඩුවකට ලක්වේ. රුපියල් 34 සහ 44 ගාස්තු සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක වන්නේ මගියාගේ කැමැත්තකින් තොරව සිදුවන මෙම අනිසි මුදල් අත්පත් කරගැනීමේ ක්‍රියාවලියමය.

බස් කොන්දොස්තරවරයා යනු සේවා යෝජකයාගෙන් හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් නිසි පරිදි ස්ථාවර වැටුපක් ලබන නීත්‍යානුකූල සේවකයෙකු බැවින්, මගී ජනතාවට තමන්ගේ උපයා ගත් ධනයෙන් අමතර කිසිදු මූල්‍යමය ප්‍රදානයක් ඔවුන් වෙත සිදු කිරීමට නෛතික බැඳීමක් නොමැත. පාලන අධිකාරීන්ට පොදු මහජනතාව කෙරෙහි වගවීමක් තිබුණේ නම් කළ යුතුව තිබුණේ මෙම ප්‍රායෝගික නොවන මුදල් අගයන් වෙනුවට ගාස්තුව රවුම් මුදලක් (Round figure) බවට පත් කිරීමයි. එසේ රවුම් කිරීමෙන් ඉතිරි වන ශත හෝ රුපියල් ගණන, රාජ්‍ය යාන්ත්‍රණය හරහා මෙරට පිළිකා රෝහලක් වැනි මහජන සුභසාධන භාර අරමුදලකට (Trust Fund) සෘජුවම බැර වන විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් සැකසුවේ නම් එය වඩාත් ප්‍රශස්ත වනු ඇත.

නමුත් අවාසනාවකට මෙන්, වාර්ෂිකව විධිමත් අධ්‍යයනයකින් තොරව කාර්යාලීය පරිශ්‍රයන්හි සිට බස් ගාස්තු සකසන බලධාරීන්ට ප්‍රායෝගික තත්ත්වය පිළිබඳ අවබෝධයක් නොමැති බව පැහැදිලිය. ඔවුන් මේ සිදුකර ඇත්තේ මාරු සල්ලි ජාවාරමට නීත්‍යානුකූල ආවරණයක් සපයමින් මගියා සූරාකෑමට අනුබල දීමකි. මෙම අදූරදර්ශී තීරණයේ ඍජු ප්‍රතිඵලයක් ලෙස, හෙට දිනයේ සිටම පොදු ප්‍රවාහනය මත යැපෙන සමස්ත මගී ප්‍රජාවගේම පාරිභෝගික හිමිකම් අමුඅමුවේ පාගා දැමෙන අතර, මාරු සල්ලි අර්බුදය නමැති අන්ධකාරයට මගියා තල්ලු කරමින් බස් සේවකයා අනීතික ලෙස වර්ධනය කරන මෙම සූරාකෑමේ යාන්ත්‍රණය සමස්ත සමාජ සාධාරණත්වයම ප්‍රශ්නාර්ථයක් බවට පත් කර තිබේ.

සටහන – තරංග එල්.පටබැදි

Social Sharing
නවතම පුවත්