ලබන වසර ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයයි…

එළැඹෙන 2024 වර්ෂය ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ දැවන්තම හැරවුම් ලක්ෂය වනු ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී ඇමැතිවරයා මේ බව පැවසීය.

රුසියානු රජය හා එහි අධ්‍යාපන අමාත්‍යංශය මඟින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු දරු දැරියන් 7 දෙනකු, ගුරුවරුන් දෙදෙනෙකු සහ මාපියන්ගෙන් නියෝජිතයකුට රුසියාවේ තෙමසක අධ්‍යාපන චාරිකාවක් සඳහා සුවිශේෂී අවස්ථාවක් හිමි කර දී තිබේ.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිර්මාතෘ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මියගේ සම්බන්ධීකරණය තුළින් මෙම සංචාරය සඳහා අවස්ථාව ලැබී ඇත.

ඒ පිළිබඳ විද්‍යාලයේ සිසු සිසුවියන්, ගුරුවරුන් සහ මාපියන් දැනුවත් කිරීම සඳහා පැවැති මේ රැස්වීම පැවැත්විණි. මීට සමගාමීව රුසියානු අධ්‍යාපනික ග්‍රන්ථ එකතුවක් විද්‍යාලයේ පුස්තකාලය වෙත පරිත්‍යාග කිරීමද එහිදී සිදු විය.

එමෙන්ම මෙතෙක් අඩුපාඩුවක් පැවති විද්‍යාලයේ විදුහල්පති නිල නිවෙසක් ඉදිකිරීම උදෙසා මුල්ගල තැබීමද උත්සවය සඳහා එක්වූ ආරාධිත අමුත්තන්ගේ සුරතින් සිදු විය.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

එළඹෙන වසර මහින්ද රාජපක්ෂ විද්‍යාලයටත්, රටේම ජාතික අධ්‍යාපනයටත් පුළුල් වෙනසක් සිදුවන වසරක් බවට පත් වෙනවා. ශ්‍රී ලාංකීය අධ්‍යාපනය පූර්ණ වශයෙන් අද්‍යතන ලෝකයට ගැළපෙන අයුරින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් බවට පත් කිරීමේ දස අවුරුදු සැලසුම සඳහා පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව මෙතෙක් පැවති විභාග කේන්ද්‍රීය, සුපුරුදු අධ්‍යාපන රටාව වෙනුවට ලෝකයේ නවීන තාක්ෂණික ක්‍රමවේද හා දියුණු රටවල අධ්‍යාපන පද්ධතීන්ට සමගාමී අයුරින් ගුණ, නැණ, බල සපිරි විශ්වයට සම්පතක් වන දරු පරපුරක් බිහි කිරීමේ ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබුවා. ඒ සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් ද පත් කර තිබූ අතර, මා ද එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කළා. ඉන් අනතුරුව මේ ක්ෂේත්‍රය පිළිබඳව විශේෂඥ දැනුමකින් යුතු සාමාජිකයන් 25 දෙනකුගෙන් සමන්විත කමිටුවක් ඉදිරිපත් කළ යෝජනා ද සැලකිල්ලට ගනිමින් 2024 වසර අධ්‍යාපන ක්‍රමයේ දැවැන්තම හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන වසරක් බවට පත්වනවා.

දකුණු ආසියාවේ විශාලතම ද්විතීක පාසල වශයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ද එළැඹෙන වසර අතිශයින් සුවිශේෂි වසරක් බවට පත්වනවා. එළඹෙන වසරේදී නව විදුහල්පතිතුමාගේ පරිපාලනය යටතේ විද්‍යාලයේ දෙවැනි සංවර්ධන යුගය ඇරඹීමට බලාපොරොත්තු වනවා. විද්‍යාලයේ සේවය කළ හිටපු විදුහල්පතිවරුන් සහ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විශාල කැප කිරීමක් සිදු කරමින් අපොස සාමාන්‍ය පෙළ දක්වා විද්‍යාලය ඉතාමත් ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ ලංකාවේ ඉහළම ශිෂ්‍ය සංඛ්‍යාව වන 763 දෙනෙකු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට කිසිදු ශිෂ්‍යයෙකු අසමත් නොවී උසස් පෙළට සුදුසුකම් ලබමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදු පාසලක් බිහි නොකළ වාර්තාවක් බිහිකිරීමට මහින්ද රාජපක්ෂ විද්‍යාලය සමත් වුණා.

2011 ජනවාරි මස 20 වැනිදා සිසු අයිතියට පත් කළ මෙම විද්‍යාලය බිහිකළේ අභියෝග රැසකට මුහුණ දෙමිනුයි. එවකට කිසිදු ජාතික පාසලක් නොපැවති මෙම ප්‍රදේශයේ මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් සිදු කිරීම එවකට බොහෝදෙනාගේ විවේචනයන්ට පවා ලක් වුණා. නමුත් එම අභියෝග සියල්ල ජයගනිමින් මේ වන විට අනාගතය උදෙසා දැනුමින් පිරිපුන් සුහුරු සිසු පරපුරක් බිහිකිරීමේ අඛණ්ඩ වෑයම මේ වන විට යථාර්ථයක් බවට පත් වෙමින් පවතිනවා. ලංකාවේ පළමුවැනි ස්මාර්ට් පන්ති කාමරය ලෙස කොරියානු රජයේ ආධාර යටතේ ස්ථාපිත පළමු සුහුරු පන්ති කාමරය ඇතුළු සුවිශේෂී අංග රැසක් මේ පාසලට එක්ව තිබෙනවා.

එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා කටයුතු කරන සමයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපතිනිය ලෙස කටයුතු කළේ මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මියයි. එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ මහාචාර්යවරියක් ලෙස ද කටයුතු කළ ඇය ගම්පහ ආයුර්වේද විද්‍යාලය, ශ්‍රී ලංකාවේ පළමු ආයුර්වේද විශ්වවිද්‍යාලය බවට පරිවර්තනය කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. රුසියානු විශ්වවිද්‍යාල කීපයක සහයෝගයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රුසියානු භාෂාව ඉගෙනීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කර දීමට ඇය අපට පොරොන්දු වී තිබෙනවා.

එහි ප්‍රථම අදියර ලෙස පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7ක් සමඟ ගුරුභවතුන් දෙදෙනෙකු සහ මව්පියන් අතරින් කෙනෙකුට මාස 3ක කාලයක් සඳහා රුසියාවේ අධ්‍යාපන චාරිකාවකට අවස්ථාව හිමිවීම මෙම විද්‍යාලයේ දරුවන්ට හිමි වූ සුවිශාල භාග්‍යයක් ලෙස මා සලකනවා. ලෝකයේ අති දැවැන්ත රටක් ලෙසත්, ශ්‍රී ලංකාවට වාර්ෂිකව විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙන රටක් ලෙසත් රුසියාවේ විශ්වවිද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහාත් මේ ඇතිවන සම්බන්ධය ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වනු ඇති බව මා විශ්වාස කරනවා.

එමෙන්ම චීන රජයේ කොන්පියුසස් ආයතනය විසින් චීන භාෂාව ඉගැන්වීම සඳහා ගුරුභවතුන් දෙදෙනෙකු ලබාදීමටද පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව ලබන වසරේ සිට චීන භාෂාව හැදෑරීමට ද මෙම විද්‍යාලයේ සිසුන්ට අවස්ථාව හිමිවනවා. අද්‍යතන ලෝකයට ගැළපෙන ආකාරයෙන් සිසුන්ගේ හෙට දවස සාර්ථක කිරීම සඳහා සිංහල භාෂාව හෝ ඉංග්‍රීසි භාෂාව පමණක් හැදෑරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ජපාන, චීන, කොරියානු, ප්‍රංශ, රුසියානු ඇතුළු භාෂාවන් වැඩිම ප්‍රමාණයක් උගන්වන පාසල බවට මෙම පාසල පත් කිරීමට එළඹෙන වසරේදී කටයුතු කරනවා.

ආරම්භයේ සිට මේ දක්වා මෙම විද්‍යාලයේ සේවය කළ විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් රැසක් මේ වන විට මෙම ප්‍රදේශයේම සහ ඉන් බැහැර පාසල් රැසක විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලෙස කැපී පෙනෙන සේවයක නිරත වෙමින් සිටිනවා.

ප්‍රඥාව හා බැඳුණු පුරවරයක් ලෙස සංවර්ධනය වන හෝමාගම පිටිපන ප්‍රදේශය තුළ මේ වන විට ශ්‍රී ලංකාවේ එකම හරිත විශ්වවිද්‍යාලය වන NSBM සරසවිය තුළ අති විශාල සිසුන් පිරිසක් උසස් අධ්‍යාපනය හදාරනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය ඇතුළු විශ්වවිද්‍යාල රැසක පීඨ, ලංකාවේ ප්‍රථම විද්‍යා උද්‍යානය, නැනෝ තාක්ෂණ ආයතනය, ටෙලිකොම් දත්ත ගබඩා සංකීර්ණය, පෙළපොත් ගබඩා සංකීර්ණය ඇතුළු අධ්‍යාපනික, තාක්ෂණික ආයතන රැසක් කේන්ද්‍ර කරගත් එකම ප්‍රදේශය වශයෙන් හෝමාගම පුරවරයට සුවිශේෂී ගෞරවයක් ලබා දීමට අපට හැකියාව ලැබුණා.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති සරත් බන්දු ගුණසේකර මහතා මෙහිදී අදහස් දැකවීය. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ , හෝමාගම රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර , රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහත්ම මහත්මීන් ඇතුළු විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් සහ මාපියන් මෙම අවස්ථා සඳහා එක්ව සිටියහ.

සුභාෂිණී සේනානායක

Social Sharing
නවතම පුවත්