මහේන්ද්‍රන්ලා නිදහස් කිරීමේ තීන්දුව අත්හිටුවයි!

බැඳුම්කර වංචාවේ පොදු දේපළ චෝදනාවලින්
සෙසු චෝදනා විභාගය වළක්වමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට තහනමක්
නීතිපතිගේ ඇපෑල පෙබ. 5 විභාගයට

පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ පොදු දේපළ පනතට ගැනෙන චෝදනාවලින් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දසදෙනකු නිදොස්කොට නිදහස් කරමින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ලබාදී තිබූ තීන්දුව වහාම අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනාවක් කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ, මුර්දු ප්‍රනාන්දු, පී. පද්මන් සූරසේන, ඒ. එච්. එම්. ඩී. නවාස්, ශිරාන් ගුණරත්න හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

විශේෂ මහාධිකරණ අභියාචනාධිකරණය විසින් ලබාදී තිබු පෙර කී නියෝගයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ අභියාචනාවක් සම්බන්ධයෙන් ලබාදී තිබූ නියෝගයක් ද එහිදී අත්හිටුවූ ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඬුල්ල නීතිපතිවරයාගේ අභියාචනාව ලබන වසරේ පෙබරවාරි 5 වැනිදා විභාගයට ගැනීමට ද දින නියම කළහ.

එමෙන්ම කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පවතින එම නඩුවේ සෙසු චෝදනා විභාග කිරීම වළක්වමින් ද ශ්‍රේෂ්ඨාධිකරණය, එම තීන්දුව ලබාදුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට තහනම් නියෝගයක් නිකුත් කළේය.

2015.02.27 වැනිදා පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට අයත් රුපියල් මිලියන 688 ක් පරිහරණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 23 ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්, ඔහුගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස්, පර්පෙචුවෙල් ටේ්‍රෂරීස් සමාගම සහ එහි අධ්‍යක්‍ෂවරුන් හා හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති පත්තිනිගේ සමරසිරි ඇතුළු විත්තිකරුවන් දසදෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබිණි. පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගම භෞතික පුද්ගලයකු නොවන බවට විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් සලකා බැලූ, අමල් රණරාජා. නාමල් බණ්ඩාර බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනාවලින් එම විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරමින් තීන්දුවක් ලබාදී තිබූ අතර සෙසු චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කොට තිබිණි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා සමඟ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවානා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

Social Sharing
ආර්ථික නවතම පුවත්