පලස්තීන රෝහල ඉදිරිපිටදීම, රෝගීන් සහිත ගිලන් රථවලට ඊශ්‍රායලය පහරදෙයි – 13 දෙනෙකු මරුට

 

ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල අසලට එල්ල වූ ප්‍රහාරයකින් 13 දෙනෙකු මිය ගොස් තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ගෙන් එල්ල වී ඇත්තේ, දැඩි විරෝධයකි.

මෙවන් පසුබිමක, ප්‍රාණඇපකරුවන් නිදහස් කරන තෙක් සටන් විරාමයකට එකඟ නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පැවසීය.

ගාසා තීරයේ විශාලතම රෝහල ලෙස පැවසෙන අල් ෂිෆා රෝහලේ පිවිසුම අසලට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එය එල්ල වී තිබුණේ, තුවාලකරුවන් පිරිසක් රැගෙන රෆා පිවිසුම වෙත යාමට සූදානම් කර තිබූ ගිලන් රථ කිහිපයක් වෙතය.

ප්‍රහාරයෙන් 13 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබිණි.

මේ අතර, අවතැන් වූ පිරිස් රැඳී සිටි පාසලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් තිබේ.

මේ අතර, දකුණු ගාසා තීරය වෙත යමින් සිටිය දී එල්ල වූ ප්‍රහාරයකින් දරුවන් ද ඇතුළු ව 14 දෙනෙකු මියගොස් සිටි අයුරු දැක්වෙන වීඩියෝවක් රොයිටර්ස් මාධ්‍යය වාර්තා කළේය.

මෙම ප්‍රහාරය පිළිබඳ මෙතෙක් නිශ්චිත කරුණු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මේ අතර, ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අඛණ්ඩව 29 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින පසුබිමක ගොඩබිම් ගැටුම් ද තීව්‍ර වෙමින් පවතියි.

මේ අතර, උතුරු ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් සිදු කෙරෙන වීඩියෝවක් හමාස් සංවිධානය නිකුත් කර තිබිණි.

යුද ගැටුම් ආරම්භයේ සිට මිය ගිය පලස්තීන ජාතිකයන් ගණන 9,200 ඉක්මවා ඇත.

මෙවන් පසුබිමක ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පවසන්නේ, ප්‍රාණඇපකරුවන් නිදහස් කරන තෙක් සටන් විරාමයකට එකඟ නොවන බවයි.

Social Sharing
නවතම පුවත් විදෙස්