නීති විරෝධී සහ නියාමනය නොකළ ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා අපේ වරිගය අනතුරේ – ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ

ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය හේතුවෙන් තම වරිගය බරපතල අනතුරකට මුහුණ පා ඇති බව ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් ප්‍රමුඛ සියලු ආදිවාසි ප්‍රාදේශීය නායකයෝ පවසති. ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය ගැන ඔවුන් ජනාධිපතිවරයා සහ මහබැංකුවේ අධිපතිවරයාට යවන ලද ලිපිවල මේ බව සඳහන් කර තිබේ.

මෙසේ පීඩාවට පත්ව සිටින ආදිවාසී ප්‍රජාව දුගී දුප්පත්, අනෙක් ප්‍රජාවට සාපේක්ෂව ජීවන බරෙන් මිරිකෙන ජන කොට්ටාසයක් බවත් ඔවුන්ගේ නොදැනුවත් බව පාවිච්චි කරමින් ණය උගුලට හසුකරගෙන ඇති බවත් එම ලිපියේ වැඩි දුරටත් සදහන් කර තිබේ. එසේම මෙම ප්‍රජාවට භාෂා භාවිතය සම්බන්ධයෙන් ගැටලු ඇති අතර බොහෝ පිරිසක් වැදි භාෂාවද වාකරේ සහ මූතූර් ආදිවාසීන් ඔවුන්ට අනන්‍ය දෙමළ භාෂාවක් ද භාවිත කරති. බොහෝ ණය දෙන ආයතන අදාළ ණය ගිවිසුම් හා වෙනත් ලේඛන ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දෙන අතර සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවලින්  ලබා දුන්න ද බොහෝ ප්‍රජාවකට තේරුම් ගැනීමේ අපහසුව ඇත. අවබෝධයකින් තොරව ගිවිසුම් වලට අත්සන් කර ණය ලබාගෙන ඇති තම ප්‍රජාව තව තවත් අසරණ තත්ත්වයට පත්ව ඇති බව වන්නිල ඇත්තෝ ප්‍රම්‍රඛ ආදිවාසී නායකයෝ සඳහන්  කරති.

ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය හේතුවෙන් කරවටක් ගිලී ඇති තම වරිගයේ ඇත්තන් මින් මුදවා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි. ඒසේම මෙම ණය ක්‍රමවේදය ක්‍රියාවට නංවන බලපත්‍රලාභී ආයතන මෙන්ම විධිමත් බලපත්‍ර නොමැතිව අනීතික ආකාරයට ණය ලබා දීම් සිදුකරන සියලු ආයතන හා සංවිධාන මෙන්ම තනි පුද්ගල ව්‍යාපාරද විධිමත්ව නියාමනය කිරීමට අදාළ කටයුතු සිදු කිරීම සඳහා බලධාරීන් වහා පියවර ගත යුතු බව ද  ඔවුහු කියා සිටිති.

තවද මේ ප්‍රශ්නයට එක් පියවරක් වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති පසුබිමක එකී යෝජිත නීතියෙන් ආවරණය නොවන එහෙත් විවිධාකාර කූඨ ක්‍රමවේදයන් යටතේ ණය ලබාදීමේ යෙදී සිටින බොහෝ මූල්‍ය ආයතන හා සමාගම් ද අනිවාර්යයෙන්ම නියාමනය කළ හැකි පරිදි යෝජිත නීති කෙටුම්පත පු`ඵල් කිරීමේ අවශ්‍යතාවය ද ඔවුහු පෙන්වාදෙති.

 

Social Sharing
අවකාශය නවතම පුවත්