මානව හිමිකම් බටහිර කුමන්ත්‍රණයක්ද?

මානව හිමිකම් සුරක්ෂිත කිරීම යනු හුදු බටහිර මතවාදයක් පමණකි යන පසුගාමී මතවාදය බැහැර කළ හැකිය. මානව හිමිකම් යනු සමස්ත ලෝක ප්‍රජාව ම සිය රටවල් මුහුණ දෙන විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට දරන උත්සාහයක් බව අවබෝධ කර ගැනීමට හැකිය.

“අපි සියවස් ගණනාවක් මානව හිමිකම් ක්‍රියාත්මක කර ඇත්තෙමු. අපි හරියට ආගම අදහනවා නම් මානව හිමිකම් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. අප අදහන ආගම්වල (බහු වචන) මානව හිමිකම් අඩංගු වේ.”

  • කාදිනල් මැල්කම් රංජිත්, 2018 සැප්තැම්බර් 23

මානව හිමිකම් ගැන බොහෝ කලකට පෙර සිවිල් සමාජ ක්‍රියාධරයන් හඬ නගන විට එය බොහෝ දෙනෙකුගේ සැකයට භාජනය විය. ඇතැමෙකුගේ දෘෂ්ටි කෝණය අනුව, එය බටහිර රටවල අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා ඔවුන්ගේ මුදල් රැගෙන කරන ව්‍යාපෘති විය. විවේචකයන්ගේ දැක්ම අනුව මානව හිමිකම්  සමපාත වූයේ නව ලිබරල් චින්තනය සමගයි.  එබැවින් සමාජවාදීහු ද, වාමාංශිකයෝ ද, ජාතිකවාදීහු ද,  ජාතිවාදීහු ද,  යුදවාදීහු ද සමස්ත ජනයාගේ මානව හිමිකම් රැකීමේ ආස්ථානයට විරුද්ධ වුහ. මානව හිමිකම් කන්නදැයි ඔවුහු ඇසූහ.මෙය කූටප්‍රාප්තියට පත්වූ යේ ලංකාවේ දැනට සිටින කාදිනල් හිමි ද වසර ගණනාවකට පෙර මානව හිමිකම් යනු බටහිර සංස්කෘතිය අප මත බලෙන් පැටවීමට උත්සාහ කිරීමක් බව ප්‍රසිද්ධියේ කියා සිටීමත් සමගය. රට තුළ ඒ සඳහා විශාල ජනමතයක් නොමැති නම් උන්වහන්සේ එවැනි ප්‍රකාශයක් සිදු නොකරනු ඇත. මෙරට පසුගාමී ජනමතය එමගින් පරාවර්තනය විය.

එමෙන්ම දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් විරුද්ධ පක්ෂයේ සිටින විට මානව හිමිකම් ගැන බොහෝ සෙයින් සංවේදී වන අතර ආණ්ඩු බලය ලැබුන පසු එම සංවේදීත්වය ඔවුන් වෙතින් ගිලිහී යයි.ඒ සඳහා එක් හේතුවක් වන්නේ ආණ්ඩුව අස්ථාවර කිරීම සඳහා විරුද්ධ පක්ෂ විසින් මානව හිමිකම් මෙවලමක් ලෙස පාවිච්චි කිරීමයි. පවතින ආණ්ඩුව ද මානව හිමිකම් නොසලකා සිය බලය තහවුරු කර ගැනීමට උත්සහ කරයි. එවිට එය මෙවලමක් පමණි. මානව හිමිකම් වෙනුවෙන් හඬ නැගීමේ අයිතිය සැමවිටම ආණ්ඩු විරෝධී පිරිස් අත  පමණක් පැවතිය යුතු යයි සිතීම හුදු ප්‍රලාපයකි. මානව හිමිකම් යනු මානවයන්ට ඇති විශ්ව සාධාරණ අයිතියකි.

ලෝකය මෙම දිසාවට අනුක්‍රමයෙන් ගමන් කරමින් සිටී. එය වඩාත් පැහැදිලි වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචනයේ ක්‍රියාකාරකම් වල ප්‍රගතිය පිළිබඳව සලකා  බලන විටය.

එක්සත් ජාතීන් විසින් මානව හිමිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශනය නිකුත් කරන ලද්දේ 1948 දී ය. එවකට තිබුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කුඩා දෙපාර්තමේන්තුව ජිනීවා වෙත ගෙන ගොස් මානව හිමිකම් මධ්‍යස්ථානය ඇති කරන ලද්දේ 1980 ගණන්වලය. 1993 වියනා ප්‍රකාශනයෙන් පසුව එම වසරේදී මානව හිමිකම් මහා කොමසාරිස්වරයෙකු පත් කරන ලදී. කොමසාරිස්වරයාගේ කාර්යය වන්නේ මානව හිමිකම ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම, ඒ අනුව ජනතාව බලාත්මක කිරීමට උදව් කිරීම, මේ සම්බන්ධයෙන් ආණ්ඩුවලට උදව් කිරීම සහ සියලු එක්සත් ජාතීන්ගේ වැඩ සටහන්වලට මානව හිමිකම් දර්ශනය ඇතුළත් කිරීමයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචනයේ අරමුණ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින සෑම රටකම ජනතාවට දැනෙන පරිදි ඒවායේ මානව හිමිකම් ගුණාත්මක වශයෙන් ඉහළ නැංවීමයි. මෙම ක්‍රියාවලිය බිම්  මට්ටමේ මානව හිමිකම් සුරැකීම ඉලක්ක කොට ඇත. මේ සඳහා රාජ්‍යයන්හි මානව හිමිකම් වාර්තාව සමාලෝචනයට බඳුන් කෙරෙන අතර  කුමන ආකාරයේ හෝ මානව හිමිකම් උල්ලංඝනයන්ට අවධානය යොමුකෙරේ.

විශ්ව කාලාන්තර සමාලෝචනය (Universal Periodic Review) ඇතිකරන ලද්දේ 2006 මාර්තු මස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත කර ගන්නා ලද 60/251 යෝජනාව අනුවයි. මේ අනුව එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රටවලට වසර 4-5 කට වරක් සිය මානව හිමිකම් චර්යාව අනෙක් රටවල සමාලෝචනයට භාජනය කිරීමට සිදුවේ. ඒ අනුව සෑම රටක්ම නිශ්චිත කාලයේදී සිය රටේ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන අතර එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් මෙම ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම සඳහා නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කරනු ලැබේ. වර්ෂ 2008 දී පළමු සමාලෝචනය සිදු  කෙරුණු අතර මේ වනවිට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ම තුන් වතාවක් සමාලෝචනය සඳහා භාජන වී තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2023 ජුලි මස විශ්ව කාලාන්තර සමාලෝචනයේ වාර්තාවේ විවිධ රටවල් විසින් ඉදිරිපත් කෙරුණු තෝරාගත් යෝජනා සහ නිර්දේශවල පරිවර්තනයක් පහත දක්වා ඇත. ඒ රටවල් බටහිර රටවල් පමණක්ම නොවේ. ඔවුහු සමස්ත ලෝක ප්‍රජාව නියෝජනය කරති. ශ්‍රී ලංකාවට නිර්දේශ 294 ක් ලැබුන අතර එයින් තෝරාගත් යෝජනා 31ක් පළමු කොටුවේ දක්වා ඇත.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් 2021 මාර්තු මස සිදු කෙරුණු විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාවේ විවිධ රටවල තෝරාගත් නිර්දේශ පරිවර්තනය කර ඉදිරිපත් කර ඇත. ඇමෙරිකා  එක්සත් ජනපදයට නිර්දේශ 347 ක් ලැබී තිබුණි. එයින් තෝරාගත් යෝජනා 34ක් දෙවන කොටුවේ දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ මානව හිමිකම් ප්‍රශ්න සහ ඒ සම්බන්ධ යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කරන රටවල පසුබිම සලකා බැලීමේදී  මානව හිමිකම් සුරක්ෂිත කිරීම යනු හුදු බටහිර මතවාදයක් පමණකි යන පසුගාමී මතවාදය බැහැර කළ හැකිය. මානව හිමිකම් යනු සමස්ත ලෝක ප්‍රජාව ම සිය රටවල් මුහුණ දෙන විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට දරන උත්සාහයක් බව අවබෝධ කර ගැනීමට හැකිය.

තෝරාගත් යෝජනා සහ නිර්දේශ වල අදාල අංකය  ඉදිරියෙන් දක්වා ඇති අතර අවසානයේ නිර්දේශ ඉදිරිපත් කළ රටේ නම දක්වා ඇත. මෙම නිර්දේශවලට බොහෝ සෙයින් සමාන තවත් නිර්දේශ වෙනත් රටවල් විසින් ඉදිරිපත් කර තිබු අතර තෝරාගත් නිශ්චිත නිර්දේශය සිදුකළ රටේ නම පමණක් සඳහන් කර ඇත.

 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ විශ්ව කාලාන්තර සමාලෝචනයට ලැබුණු නිර්දේශ සහ යෝජනා

65.1 ප්‍රධාන මානව හිමිකම් සම්මුතීන්ට සහභාගී වීම සලකා  බලන්න (යුක්රේන්)

  1. 21 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ නිර්මාණාත්මකව සම්බන්ධ වෙමින් සහ සහයෝගයෙන් වැඩ කිරීම සහ ජාතික ක්‍රියාකාරකම්වලට ලැබෙන තාක්ෂණික සහය ලබාගැනීම තව දුරටත් කරගෙන යන්න.(පිලිපීනය)

65.24 බලය විමධ්‍යගත කිරීම සඳහා කටයුතු කරන්න (ස්විට්සර්ලන්තය)

65.26 ඕනෑම ආකාරයක වෙනස් කොට සැලකීමට එරෙහිව නීති පද්ධතිය ශක්තිමත් කිරීමට කටයුතු කරන්න ( කියුබාව)

65.27 දික්කසාදය පිලිබඳ නීති පද්ධතිය වෙනස් කරන්න. ලිංගිකත්වය සම්බන්ධ දූෂිත ක්‍රියාකාරකම් අපරාධ ලෙස අර්ථ දැක්වෙන සේ අපරාධ නීතිය සංශෝධනය කරන්න. (බුරුන්ඩි)

65.28 ආන්තික ජන කොටස් ප්‍රධාන ජනකොටසට එකතු  කර ගැනීම සඳහා වන උත්සාහයන් බල ගන්වන්න. බහුත්වවාදය ක්‍රියාත්මක කරන්න. (බංගලාදේශය)

65.33 ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධිනත්වය ආරක්ෂා කරන්න.(යුක්රේන් )

65.35 අධිකරණය සහ මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතන වල ස්වාධිනත්වය සහතික කිරීම සඳහා වන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉක්මන් කිරීමට පළල් උපදෙස් විමසීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්න. (ක්‍රොයේෂියාව)

65.53 මරණ දඬුවම නිත්‍යානුකූලව තහනම් කිරීම ගැන සලකා බලන්න. (ඉතාලිය)

65.65 සිරකරුවන්ට සැලකීමේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගරු කිරීම සහතික කිරීම සඳහා බන්ධනාගාර පිරී ඉතිරී යාම අඩු කිරීමට පියවර ගන්න. (ලිබියාව )

65.66 අතුරුදහන් වුවන්ගේ පවුල් සිටින අවිනිශ්චිත තත්ත්වය සිහි තබාගෙන විනිවිද පෙනෙන ආකාරයකින් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් දෙමින් හානි පූරණයට කටයුතු කරන්න. (ෆින්ලන්තය)

65.68 පොලිසිය මගින් සිදුකරන ලද වධහිංසා කිරීම්  සහ නීතිවිරෝධී ඝාතන පිලිබඳ චෝදනා ගැන නිසි විමර්ශනයක් සිදුකර නඩු පවරන්න. (කොස්ටාරිකා)

65.70 විවිධාකාර අවස්ථාවල අත්තනෝමතික රඳවා ගැනීම් දක්වා වන පුද්ගල නිදහස අහිමි කිරීම්වලට ඉඩ සලසන හදිසි නීති රෙගුලාසි ප්‍රතිසංස්කරණය කරන්න. (කොලොම්බියා)

65.77 දැනට ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. නව පනත ජාත්‍යන්තර වගකීම්වලට අනුකූල වන බවත් කතාකිරීමේ සහ රැස්වීමේ නිදහසට බාධා ඇති නොවන බවත් සහතික කරන්න. (ජර්මනිය)

65.84 ජාත්‍යන්තර වගකීම්වලට අනුකූල වන සේ ජාතික නීති සකස් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න. (රුසියාව)

65.91  අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම සහතික කරනු වස් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන පැහැර ගැනීම්, අනීතිකව රඳවා ගැනීම්, වධ හිංසා පැමිණවීම් සහ  ලිංගික හිංසනය පිළිබඳව කෙරෙන විමර්ශන කඩිනම් කරන්න. (බොට්ස්වානා)

65.94 යුද්ධ කාලය තුළ හමුදාව විසින් අත්පත් කරගත් ඉඩම් පිළිබඳව ලේඛනයක් සකස් කරන්න. තමන්ගේ අහිමිවූ ඉඩම් අයිතිය ආපසු ලබාගන්නා නීතිය ස්ථාපිත කර ඒ සඳහා වන ක්‍රියා මාර්ගය සකසන්න. නීත්‍යානුකූලව වගවීමේ යාන්ත්‍රණයක් සහ සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් සකසන්න. (කොලොම්බියාව)

65.99  ස්වාධින සහ විශ්වාසනීය සත්‍ය සහ සංහිඳියා කොමිසමක් පත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න. (කෙන්යාව)

65.104 රටේ සංහිඳියාව සඳහා වන ක්‍රියාමාර්ග ඉදිරියට කරගෙන යාම සඳහා සියලු අදාළ පාර්ශ්වයන් සහභාගී කර ගන්න. (තායිලන්තය)

65.106 සියලු අදාළ පාර්ශ්වයන් සමඟ නිර්මාණාත්මකව ඒකරාශී වෙමින් ජාතික සංහිඳියාව සඳහා වන ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්න. (වියට්නාමය)

65.107 ජාතික සංහිඳියාව සඳහා වන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන අතර මහජන නිදහස සහතික කරන්න. (යේමනය)

65.114  ජාතික සංහිඳියාව ඉදිරියට ගෙන යාමේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයමින් ජාතික මට්ටමේ ක්‍රියාමාර්ග සඳහා ද මුල පුරන්න. (පකිස්ථානය)

65.118 ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ සහජීවනය  සඳහා  කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න. (තුර්කිය)

65.124 ජාතික සංහිඳියාව සඳහා සියලුම පාර්ශ්ව නිර්මාණාත්මකව එකතුකර ගැනීමේ ක්‍රියා දිගටම කරගෙන යන්න. (චීනය)

65.129 වින්දිතයන්ට සත්‍යය, යුක්තිය සහ හානි පූරණය සඳහා ප්‍රවේශය සහතික කරමින් අන්තර් ජාතික මානුෂිය නීතිය සහ මානව හිමිකම් කඩ කර ඇතැයි සිතිය හැකි අය සම්බන්ධ විමර්ශනවලට ඉඩදී ඒවායේ ප්‍රතිඵල අනුව ඔවුන්ට නඩු පවරන්න. (ඉක්වදෝරය)

65.132 අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයට සහ හානිපූරණය සඳහා වන කාර්යාලයට ඔවුන්ගේ වගකීම් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස ඉටුකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයන්න. (ඉරානය)

65.134 මානව හිමිකම් කවුන්සිලයට  දුන් පොරොන්දු ඉටු කරමින් විශේෂයෙන්ම වාර්ගික සහ ආගමික සුළුතරයට අයත් ජනතාවට එරෙහිව සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයට, අපයෝජන සහ හිරිහැර කිරීම්වලට හමුදාවේ සහ රජයේ නිලධාරීන් ඇතුළු වගකිවයුතු  සියලුදෙනාට ඇති දණ්ඩමුක්තිය අවසන් කරන්න. (ඇමරිකා එක්සත් ජනපදය)

65.149 වෛරය සහ ආගමික නොඉවසීමට සපුරා එරෙහි ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය දිගටම රැගෙන යන්න. (කියුබාව)

65.161 ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර වේතන පිලිබඳ පරතරය නැති කිරීමට ගන්නා උත්සාහයන් ශක්තිමත් කරන්න.(ඉරාකය)

65.165 අවදානමට ලක් වියහැකි කණ්ඩායම්වලට ඵලදායී සමාජ ආරක්ෂණය සහතික කරන වැඩ පිළිවෙල ශක්තිමත් කරන්න. (සිංගප්පුරුව)

65.251 දරුවන් අපයෝජනයෙන් සහ සුරාකෑමෙන් සහ ළමා විවාහ වලින් ආරක්ෂා කිරීමට තවදුරටත් පියවර ගන්න. (බංග්ලාදේශය)

 

ඇමරිකා එක්සත් ජනපදෙයේ මානව හිමිකම් පිළිබඳ විශ්ව කාලාන්තර සමාලෝචනයට ලැබුණු නිර්දේශ සහ යෝජනා

26.1 නිල අනුමැතිය නොදුන් ඉතිරි සියලු මානව හිමිකම් සම්මුතීන‍ෙවලට නිල අනුමැතිය ලබාදීමට කටයුතු කරන්න (සෝමාලියාව)

26.23 මානව හිමිකම් කවුන්සිලය සමඟ නැවත සම්බන්ධ වන්න. කාන්තාවන්ට එරෙහි සියලු වෙනස් කොට සැලකීම් නැති කිරීමේ සම්මුතියට, අබාධිත පුද්ගලයන්ගේ අයිතීන් පිලිබඳ සම්මුතියට දරුවන්ගේ අයිතීන් පිලිබඳ සම්මුතියට නිල අනුමැතිය දෙන්න (කැනඩාව)

26.30 කාන්තාවන්ට එරෙහි සියලු වෙනස් කොට සැලකීම් නැති කිරීමේ සම්මුතියට නිල අනුමැතිය දීම සලකා බලන්න.(ඊශ්‍රායලය )

26.31 කාන්තාවන්ට එරෙහි සියලු වෙනස් කොට සැලකීම් නැති කිරීමේ සම්මුතියට, අබාධිත පුද්ගලයන්ගේ අයිතීන් පිලිබඳ සම්මුතියට සහ දරුවන්ගේ අයිතීන් පිලිබඳ සම්මුතියට හැකිතාක් ඉක්මනින් නිල අනුමැතිය දෙන්න. (ජපානය)

26.51 සංක්‍රමණික සේවා නියුක්තයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතීන් ආරක්ෂා වන ජ්‍යාත්‍යන්තර සම්මුතියට අත්සන් කරන්න. (පිලිපීනය)

26.67 අන්තර්ජාතික අපරාධ අධිකරණයට සම්බාධක පනවමින් කරන ලද විධායක නියෝග 13928 අවලංගු කරන්න. (ඩෙන්මාර්කය)

26.71 අන්තර්ජාතික අපරාධ අධිකරණයේ  කාර්ය මණ්ඩලයට එරෙහිව පනවන ලද සම්බාධක සියල්ල ඉවත් කරන්න. (ප්‍රංශය)

26.75 ජාත්‍යන්තර නීති උල්ලංනයන්ට ඇති දණ්ඩ මුක්තිය අහෝසි කරන්න. අන්තර්ජාතික අපරාධ අධිකරණයට පනවා ඇති සම්බාධක ඉවත් කරන්න. ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිලිබඳ රෝම සම්මුතියට නිල අනුමැතිය දෙන්න. (පලස්තීනය)

26.79  මානව හිමිකම් කවුන්සිලය සමඟ නැවත සම්බන්ධ වන්න. (ජර්මනිය)

26.93 පැරිස් මූලධර්ම අනුව ජාතික මානව හිමිකම් ආයතනයක් ස්ථාපිත කරන්න. (කටාර්)

26.102 සියලුම මට්ටම්වල රජයේ නිලධාරීන්ට වෙනස් කොට සැලකීමට එරෙහිවීම සම්බන්ධයෙන් අමතර පුහුණු කිරීම් ක්‍රමානුකූලව සිදු කරන්න. (කාම්බෝජය)

26.106 දේශපාලන අවශ්‍යතාවයන් සඳහා මානව හිමිකම් මුවාවෙන් ස්වාධින රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වලකින්න. (චීනය)

26.108 වෙනත් රටවලට නීති විරෝධී ලෙස ආයුධ අපනයනය කිරීම නවත්වන්න. (මෙක්සිකෝව)

26.113 ජාතිය, වාර්ගිකත්වය, ආගම සහ ලිංගිකත්වය අනුව වෙනස්කොට සැලකීම සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් සිදුකරන වාර්ගික හඳුනාගැනීම් නැතිකිරීමට සාධනීය පියවර ගන්න. (රුසියාව)

26.172 සවුදි හමුදා විසින් යේමන ජනතාවට එරෙහිව ද ඊශ්‍රායල් රජය විසින් පලස්තීන ජාතිකයන්ට එරෙහිව ද කරනු ලබන කුරිරු ක්‍රියාවන්ට මැදහත් වීම ද ඔවුන්ට ආයුධ විකිණීම ද නවත්වන්න. (ඉරානය)

26.176 ග්වන්තනමෝ රඳවාගැනීම් මධ්‍යස්ථානය හැකි ඉක්මනින් වසා දමන්න. (ප්‍රංශය)

26.179  මරණ දඬුවම මධ්‍යම ආණ්ඩුව මගින් අහෝසි කර ප්‍රාන්ත රාජ්‍ය ද එය අහෝසි කරන ලෙස උනන්දු කරන්න. (ස්විට්සර්ලන්තය)

26.217 වාර්ගික අසාධාරණත්වය සහ තුවක්කු සංස්කෘතිය නැති කිරීමට නීති ශක්තිමත් කරන්න. (ඉන්දියාව)

26.219 බලය පාවිච්චි කිරීම පාලනය කිරීම  සම්බන්ධ ජාත්‍යන්තර නිර්ණායකවලට අනුව පොලිසියේ කෘරත්වය සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග බලගන්වන්න. (තයිලන්තය)

26 .235 මෑතකදී ගත්  පියවර වන ආරක්ෂිත ප්‍රජාව සඳහා ආරක්ෂිත පොලිස් කටයුතු නමින් යුත් විධායක නියෝගය, වාර්ගික හඳුනාගැනීම් නැති කිරීම සහ බන්ධනාගාර සුපරීක්ෂණය යන ක්‍රියාමාර්ග හරහා වාර්ගිකව  වෙනස් කොට සැලකීමට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්න    (ශ්‍රී ලංකාව)

26.240 හමුදාව තුල සිදුවන ලිංගික හිංසනය සම්බන්ධව කටයුතු කරන්න. (ඊශ්‍රායලය )

26.261 නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන තුළ  සුදු වාර්ගික ස්වෝත්තමවාදීන් වැනි අන්තවාදී කොටස්වල බලය වැඩිවීම ගැන සැලකිලිමත් වන්න. නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ට මානව හිමිකම් සහ මූලික නිදහස ඉලක්ක කරගෙන විධිමත් පුහුණුවක් ලබා දෙන්න. (තුර්කිය)

26.265 ආගමික නිදහස පැවැත්වීම සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් දෙන්න. මේ සම්බන්ධ නිර්මාණාත්මක මුලපිරීම් සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සම්බන්ධ කර ගන්න. (බල්ගේරියාව)

26.268 අන්තර්ජාලයේ අදහස් ප්‍රකාශනයේ නිදහස සහතික කිරීම සඳහා නව ක්‍රියාමාර්ග ගන්න. (හයිටි)

26.271 විරෝධතාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් විසින් ප්‍රමාණයට වැඩි බලයක් යෙදවීම සහ වධහිංසාව පිලිබඳ චෝදනා විමර්ශනය කරන්න. සාමකාමී රැස්වීමේ අයිතියට එරෙහි සීමාකිරීම් අඩුකරන්න. (ඊජිප්තුව)

26.275 ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය සහතික කරන්න. ප්‍රාන්ත රාජ්‍යයන්  ඡන්දදායකයන් කෙරෙහි වෙනස් කොට සැලකීමේ ප්‍රතිඵලයක් ජනිත විය හැකි ඡන්ද දායකයන් හඳුනාගැනීමේ ක්‍රමවේද භාවිතා කිරීමෙන් වළකින ලෙස දැඩිව ඉල්ලා සිටින්න. (ජර්මනිය)

26.282  අසාධාරණ සේවා පිළිවෙත් ක්‍රියාත්මක කරන සේවායෝජකයන්ට සම්බාධක පනවන්න. සේවක අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව සහතික කරන්න. (මියන්මාරය)

26.283 දුප්පත්- පොහොසත් ආන්තීකරණය සහ සමාජ අසාධාරණත්වය නැති කිරීම සඳහා පුළුල් ක්‍රියාමාර්ග ගන්න. (චීනය)

26.286  රට පුරා අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල නිවාස රහිතබව අඩු කිරීම සඳහා වන ක්‍රියාමාර්ග තවත් ශක්තිමත් කරන්න.( ඉතියෝපියාව)

26.288 සැමට සාධාරණව ලබාගත හැකි පුළුල් සෞඛ්‍ය සේවයක් ස්ථාපිත කරන්න.(පෝලන්තය)

26.306 ලිංගික සහ ප්‍රජනන අයිතිවාසිකම් සහ සෞඛ්‍යය සඳහා කාන්තාවන් සහ ගැහැණු ළමයින්ට ඇති ප්‍රවේශය සහතික කරන්න. (ප්‍රංශය)

26.316 හැමට පොදු ගෙවීම් සහිත මාතෘ නිවාඩු සහ මාතෘ සෞඛ්‍ය සේවය ඇතිකිරීම මගින් සේවා ස්ථානවල සමානාත්මතාව තවදුරටත් වර්ධනය කරන්න. (ශ්‍රී ලංකාව)

26.233 සංක්‍රමණිකයන් සඳහා වන රඳවා ගැනීම් ස්ථානවල තත්ත්වය (විශේෂයෙන්ම බාල වයස්කාරයන් සම්බන්ධව) ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට අනුගත වන බව සහතික කරන්න. (නොර්වේ)

26.344 කුඩා දරුවන් ඔවුන්ගේ සංක්‍රමණික දෙමාපියන්ගෙන් වෙන් කර ඔවුන් සිරගත කිරීම නවත්වන්න. (ඉරානය)

උපුටා ගැනීම – අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි

 

 

 

 

 

 

 

 

 

 

Social Sharing
ආර්ථික නවතම පුවත්