අවුරුදු 33ක්, අරගලය අපේ ජීවිතය බවට පත්වෙලා..

පාරවල් දිගට, තාප්ප ගානේ දේශපාලකයන්ගේ පෝස්ටර් නිතරම දකින්න ලැබුණත්, ජාතික වීරවරයො කියන අයගේ, හිටපු අගමැතිවරු, ජනාධිපතිවරු, මැති ඇමති ගොල්ලන්ගේ ලොකු ලොකු පිළිම හැම තැනම තිබුණත් මේ වගේ තැනක් සමහර විට ඔබ තවම දැකලා නැතුව ඇති. මේ තමයි සීදූව රද්දොළුගම හන්දියේ තියෙන අතුරුදහන්වූවන්ගේ ස්මාරකය. මේක තවත් එක පිළිමයක් හරි, සුරුවමක් හරි නෙවේ. හමුදාවේ අය වෙනුවෙන් ආණ්ඩුව ඉදිකරපු ජනප්‍රිය ස්මාරක, වෙහෙර විහාර හැම තැනම තිබුණත් 87-89 කාලයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළ අපේ ආදරණීයයන් අනුස්මරණය කරන්න දකුණේ කියලා අපිට ඉතිරිවෙලා තියෙන්නේ මෙතන විතරයි.

මේ ස්මාරකයට ප්‍රසිද්ධියක් නොලැබුණාට මේක අපිට ගොඩාක් වටිනවා. මේක ඉදිකරේ අපි අපේම මහන්සියෙන්. මේ ස්මාරකයේ බිත්තියට කියන්නේ කදුළු බිත්තිය කියලා. සමහරවිට වැස්සටත් වඩා මේ බිත්තිය අපේ කදුළුවලින් තෙත්වෙලා ඇති. පැහැරගත්තු අපේ අයගේ ජීවිතවලට මොකද වුණේ කියන්න අපි තවම දන්නේ නෑ. ඒ අය අතුරුදහන්කරවලා. හැම රජයක්ම මේ අපරාධය වසන් කරන්න හදනවා. එහෙම එකේ අපේ අයගේ පොටෝ එකක් හරි ඉතිරිවෙලා තියෙන්නේ මෙතන විතරයි.

හැම අවුරුද්දෙම ඔක්තෝම්බර් 27 අතුරුදන් පවුල්වල අපි මේ ස්මාරකය ළගට එකතුවෙලා අතුරුදහන්කළ අපේ ආදරණීයයන් අනුස්මරණය කරනවා. මේ පාරත් 27 වෙනිදා උදේ 10ට අපි ඒ අනුස්මරණය සිද්ධ කරනවා.

මේ කදුළු බිත්තියේ නොතිබුණු අතුරුදහන් අයගේ පිංතූර කිහිපයක් අපි අද කදුළු බිත්තියේ සවිකරා. එහෙම කළේ අතුරුදහන් අය වෙනුවෙන් යුක්තිය උදෙසා කරන අරගලය අපි දිගටම අරගෙන යනබවට සංකේතවත් කරන්න. අවුරුදු 33ක් පුරාවට අරගෙන එන මේ අරගලය දැන් අපේ ජීවිතය බවට පත්වෙලා. යුක්තිය කියා දෙයක් පේනමානයකවත් නැති වුණාට අපි මේ ගෙනයන අරගලය නතර කරන්නේ නෑ. අපි ආයෙ ආයෙම මේ දේ අනුස්මරණය කරන්නේ අපේ ආදරණීයන්නට අත්වුණු ඉරණම කුරා කුහුඹුවෙකුටවත් අත් නොවේවා කියන ප්‍රාර්ථනාවෙන්. අපේ ආදරණීයන් වෙනුවෙන් යුක්තිය දිනාගන්න ඕන වගේම, මේ අපරාදය නැවත කරන්න ඉඩ නොදී අතුරුදහන් කරවීම්වලින් තොර රටක් ගොඩනගන්න අපි කැපවෙනවා.

මේ 27 වෙනිදා පවත්වන අනුස්මරණයට ඔබත් එන්න. මනුෂ්‍ය වර්ගයාට එරෙහි දරුණුතම අපරාදය වන අතුරුදහන්කරවීමට එරෙහිව කරන මේ යුකිතියේ අරගලයට එකතු වෙන්න.

අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව

Social Sharing
අවකාශය නවතම පුවත්