යළි විදුලි බිල සංශෝධනයක් – ඇමැති කංචන කියයි…

නියඟය, ඉන්ධන මිල වැනි සුවිශේෂී තත්ත්වයක් ඇති වුවහොත් විදුලි බිලේ සංශෝධනයක් නැවත සිදුවිය හැකි බව විදුලිබල හා බලශකග්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (23 දා) පැවසීය.

2014 සිට වසර 09 ක් යන තෙක් විදුලි බිලේ සංශෝධනයක් නොකර ඉන් ලැබූ පාඩුව මහා භාණ්ඩාගාරයෙන් පියවීම් කරමින් පැවතියත් ෂඵත්‍ සමග ඇති කර ගත් ගිවිසුම් අනුව විදුලි බිල හා ඉන්ධන පාඩු නොලබා පවත්වාගෙන යෑමට සිදුව ඇතැයි ද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23 දා) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පැවසීය. තමා මිල සංශෝධනය නොකළේ නම් පත්වන ඇමැතිවරයාට එය කිරීමට වන බව ද ඇමැතිවරයා පැවසීය.

විදුලි බිල සංශෝධන කිරීමට වසරකට අවස්ථා දෙකක් ඇතත් සුවිශේෂී අවස්ථාවක විදුලි බිලේ සංශෝධනයක් සිදු කිරීමට විදුලිබල පනත මගින් ඇමැතිවරයාට හැකියාව ඇතැයි ද ඒ මහතා කීය. ෂඵත්‍ ගිවිසුම අනුව මේ වසර අවසන් වනවිට විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 30 ක පාඩුවක් ලැබීමට සිදුවන බවට පුරෝකථනය කර තිබූ බවත් එය පියවාගෙන විදුලිය අඛණ්ඩව ලබාදීම සඳහා පසුගියදා සියයට 18 කින් විදුලි බිල වැඩි කිරීමට සිදුවූ බවත් හෙතෙම කීය. පසුගිය ජුලි මාසයේදී සියයට තුනකින් (3%) විදුලි බිල අඩු කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එම කොමිසම සියයට 14 කින් විදුලි බිල අඩු කිරීම නිසා ලැබූ පාඩුව වැඩි වී සියයට 18 කින් මිල ඉහළ දැමීමට සිදුවූ බවත් ඇමැතිවරයා කීය.

මේ දිනවල වර්ෂාව ලැබෙමින් තිබෙන නිසා විදුලි බිල වැඩි නොකර සිටීමට තිබූ බවට ඇතැමුන් චෝදනා කළත් ඔක්තෝබර් 22 වනවිට බලාගාර ජලාශවල භාවිතයට ගත හැකි ජලය තිබෙන්නේ සියයට 65.81 ක් බව ද ඔහු කීය. 2022 ඔක්තෝබර් 22 වනවිට එම තත්ත්වය සියයට 84.41 ක් බවත් 2021 එම තත්ත්වය සියයට 86.48 ක් බවත් ඇමැතිවරයා පැවසීය.

2024 මාර්තු, අප්‍රේල්, මැයි සිට ඔක්තෝබර් දක්වා නියං තත්ත්වයක් පැවතිය හැකි බවට වගකිවයුතු අංශ පුරෝකථනය කර ඇති බවත් එවැනි තත්ත්වයකට මුහුණ දීමට විදුලිබල මණ්ඩලය සැලසුම් සකස් කරමින් සිටින බවත් පැවසූ ඇමැතිවරයා 2014 සිට විදුලි බිලේ සංශෝධනයක් සිදු නොකළා පමණක් නොව විදුලිය සපයා ගැනීමට බලාගාර ඉදිකිරීමක් සිදුව නැතැයි ද කියා සිටියේය.

විදුලි අර්බුදයට පිළියමක් ලෙස මේ වනවිට වහල මත සවිකරන සූර්ය පැනල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා ඉල්ලීම් කරන ඕනෑම අයකුට එම අවස්ථාව ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කරන බවත් හෙතෙම කීය. සමනල වැව ජලාශයේ ඉදිරි සති දෙක තුළ මෙගාවොට් 200 ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීමටත් ඉදිරි වසර 02 තුළ අක්කර 12,000 ක සූර්ය බලාගාර සහ තවත් අක්කර 2000 ක සුළං බලාගාර ඉදිකිරීමට ඉඩම් ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවත් ඇමැතිවරයා කීය.

දැනට වසරකට දෙවතාවක් විදුලි බිල සංශෝධනය කිරීමට කටයුතු කළත් ඉදිරියේ එය වසරකට කාර්තු වශයෙන් සිව් වතාවකදී සිදුකිරීමට අදහස් කර තිබෙන බවත් ඒ මහතා කීය. ඒ සඳහා මාසයෙන් මාසය මහජන උපයෝගිතා කොමිසමට තොරතුරු ලබාදෙන ලෙස තමා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව ද ඇමැතිවරයා කීය.

චමින්ද සිල්වා

Social Sharing
ආර්ථික නවතම පුවත්