සජබ රජයක් යටතේ මත්පැන් මත්ද්‍රව්‍ය සහ දුම්වැටිවලට තිත තියනවා…

රජය බදු අය කළ යුතු පුද්ගලයන්ගෙන් හරියාකාරව බදු අය කර නොගෙන අනීතික ලෙස තුන් වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවත් මෙම පහත් ක්‍රියාව නිසා මේ රටේ විදුලි පාරිභෝගිකයන් අසරණ වී ඇති බවත් අරක්කු කොම්පැනිකරුවන් සිගරට් කොම්පැනිකරුවන් රජයේ නිලධාරීන් සුළු පිරිසකට සන්තෝසම් දී අය විය යුතු බදු පැහැරහරින විට රටේ අසරණ ජනතාව විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව දුකට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අනාගත සමඟි ජන බලවේග රජයක් තුළ දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය යථාර්ථවාදීව උපරිම ලෙස අවම කිරීම හෝ සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ වැඩසටහනකට තමා මුලපුරන බවට පොරොන්දු වන බවත් මේ ප්‍රතිපත්තිය නිසා ඡන්ද අඩු වෙනවාට තමා බිය නොවන බවත් බොරු නොකියන ජනතාව රවටන දුර්දාන්ත දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (21) බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේ පැවැති 111 වැනි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභා රැස්වීම අමතමිනි.

විපක්ෂ නායකවරයා ලෙස තමා කිසිදු අවස්ථාවක බාර් බලපත්‍ර ලබා දීම සඳහා පුද්ගලයන් නිර්දේශ කර නැති වීම සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

මේ වන විට පාසල් පද්ධතිය පවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ආක්‍රමණය කර ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ ඍජු තීන්දු ගත යුතු බවත් තවදුරටත් මේ විනාශය දිහා බලා නිද්‍රාශීලීව සිටිය නොහැකි බවත් දරු පරපුර වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී තවදුරටත් පැවසීය.

එමෙන්ම රටේ මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතය අප රටේ සංස්කෘතියට කිඳාබැස ඇති ආකාරය බැලූ විට අතිශය ශෝචනීය බවත් ඒ සඳහා නීති පද්ධතිය පමණක් නොව අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාදාමය දැඩි ලෙස ශක්තිසම්පන්නව සක්‍රියව රටේ ක්‍රියාත්මක විය යුතු බවත් මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිසා රජයට විශාල ආදායමක් ලැබෙනවා කියා කිව්වත් පාර්ලිමේන්තු කමිටුවලින් අනාවරණය වූ ආකාරයට මත්පැන් ව්‍යාපාර මඟින් තමන් ගෙවිය යුතු බදු මුදලවත් හරියට ගෙවා නැති බවත් ආයතන දෙකක් ලක්ෂ 17,000ක මුදලක් බදු ලෙස පැහැරහැර ඇති විපක්ෂ නායකවරයා පැවසීය.

අමද්‍යප ව්‍යාපාරයේ 111 වැනි මහා සභා රැස්වීමේදී සාමාජිකත්වය ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කටයුතු කළේය. මෙම සාමාජිකත්වය නොලැබුවත් තමා උපන්දා සිට දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර පුද්ගලයකු බවත් එය ඉදිරියටත් එසේම බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය. සාමාජිකත්වය ලබා ගැනීම සේම කටවචනයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික ක්‍රියාදාමක් බවට පත් කිරීම සිය අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

රක්ෂණ ශ්‍රියන්ත

Social Sharing
නවතම පුවත්