ග්‍රාමීය ප්‍රදේශවල වැඩ කරන ගොවීන්ගේ සහ අනෙකුත් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය – UNDROP සම්මත කරනු!

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදකයින්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ප්‍රයෝජනවත් වන ග්‍රාමීය ප්‍රදේශවල වැඩ කරන ගොවීන්ගේ සහ අනෙකුත් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය – UNDROP සම්මත කරන ලෙස ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR) රජයෙන් ඉල්ලා සිටී.
මහජන ආහාර ස්වෛරීභාවය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රියාකාරී දිනය වන ඔක්තෝබර් 16 වැනි දින නිකුත් කරන ලද ප්‍රකාශයක් මගින් MONLAR සංවිධානය රට ණය අර්බුදයකට ඇද දැමීමේදී ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ඉටු කරන ලද භූමිකාව සම්බන්ධයෙන් සැක මතු කර ඇත. ඔවුන් විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“අද ශ්‍රී ලංකාවේ මිලියන 5.3 ක ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙති. රජය වසර 70කට වැඩි කාලයක් තම ජනතාව පෝෂණය කිරීම සඳහා කළ දේ අසාර්ථක වී ඇති බව මෙයින් සනාථ වේ. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය ගත් උත්සාහය අසාර්ථක වී ඇත. ගොවීන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට රජය කළ දේ අසාර්ථකයි. ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සඳහා රජයන් කළ දේ අසාර්ථක වී ඇත. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ඇති කර ඇති නීති, පනත්, ප්‍රතිපත්ති, ජාත්‍යන්තර ගිවිසුම් සහ නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) ජනතාව සාගින්නට පත්කර ඇති අතර ඉතා සුළු ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ දේශපාලන මිතුරන් හට පමණක් වාසි ලැබේ. ශ්‍රී ලංකාවේ මිලියනයකට අධික ජනතාවක් කුසගින්නේ සිටින මොහොතක, මෙම කතිපයාධිකාරීන් විසින් නිර්මාණය කරන ලද දැවැන්ත ධනය සහ ඔවුන් විසින් මෙම අසාධාරණය හරහා ගොඩනඟා ඇති අධිරාජ්‍යයන් සැලකිය යුත්තේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙසය.”
Social Sharing
නවතම පුවත්