‘ආසියාතික රටවල් දෙවැනි පන්තියට නොදැමිය යුතුයි’ ජනපතිගේ ප්‍රකාශය මින් පෙරකිසිදු කලාපීය නායකයකු කර නෑ…

ආසියාතික රටවල් දෙවැනි පන්තියට නොදැමිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සමස්ත ආසියාවටම වැදගත් වන ප්‍රකාශය කිසිදු කලාපීය නායකයකු මින් පෙර ප්‍රකාශ කර නැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට, ආසන සංවිධායකවරුන්ට සහ බලයලත් නියෝජිතවරුන් සඳහා පැවති විශේෂ වැඩමුළුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජය ගෙන යන වැඩපිළිවෙළ දැනුම්වත් කිරීමේ අරමුණින් සිරිකොත මාධ්‍ය ඒකකය මඟින් පසුගියදා මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.

වැඩමුළුවට සහභාගි වූ අය සඳහා ප්‍රධාන දේශනය සිදු කරමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ G77 සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ විශේෂ කරුණු පැහැදිලි කළා. ඒවා ජයග්‍රහණය කර ගැනීම සඳහා වන වැඩපිළිවෙළ ද ඔහු ඉදිරිපත් කර තිබෙනවා. අද රටේ බලය ඉල්ලන වෙනත් කිසිදු නායකයෙක්ට මේ මොහොත වනතෙක් රට ගොඩනැඟීමට තමන් සතුව යම් වැඩපිළිවෙළක් තිබේ නම් එය රටට ලෝකයට ඉදිරිපත් කරන්න බැරි වෙලා තිබෙනවා.

රටේ තරුණ පරම්පරාව ශක්තිමත් ලෙස නැඟී සිටීම සහ නව තාක්ෂණික මෙවලම් භාවිතය පිළිබඳවත් G77 සමුළුවේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා.

ලෝකයේ බංකොලොත් වූ ඇතැම් රටවලට තාමත් එම අර්බුදයෙන් මිදෙන්න බැරි වෙලා තිබෙනවා. නමුත් අපේ රට ගමන් කළ මාර්ගය ඉතාමත් ඉක්මනින් වෙනස් කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වුණා. මේ ගැන ලෝක බැංකු සභාපතිවරයා එතුමන්ගේ ස්තූතිය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පළ කර තිබුණා.

මෙම කරුණු සලකා බැලීමේදී ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරය ඉතාම සාර්ථක විදේශ ගමනක් ලෙස හැඳින්විය හැකියි.

පසුගිය දවසක ජර්මන් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය ඉතාම වැදගත්.

අපේ රට ඇතුළු ආසියාතික රටවල් දෙවැනි පන්තියේ රටවල් නොවන බව එතුමා පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය මුළු ආසියාවටම වැදගත්. ලෝකයේ වෙනත් කිසිදු ආසියාතික රටක නායකයකු මෙවැනි ප්‍රකාශ ඉදිරිපත් කර නැහැ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලෝකයේ අනෙක් නායකයන්ට වඩා වෙනස් බව මා සෑමවිටම කියන්නේ එනිසයි. එතුමාට ලෝක දේශපාලනය පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. හොඳ අත්දැකීම් තිබෙනවා. ඔහු කිසිදු වචනයක් ආවට ගියාට ප්‍රකාශ කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා සෑමවිටම සිට ගත්තේ ශ්‍රී ලංකාව සමඟයි. කොයිම අවස්ථාවකදිවත් රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ පුද්ගලික වාසි නිසා හෝ වෙනත් කිසියම් හේතුවක් නිසාවත් වෙනත් රටවල් සමඟ හිටගත්තේ නැහැ. මෙතැනදිත් එතුමා පැහැදිලිවම සිටගත්තේ ලංකාව සමඟයි.

මේ රටේ ඉන්න සෑම පුරවැසියෙක්ම ශ්‍රී ලංකාව සමඟ සිටගත යුතුව තිබෙනවා. දේශපාලනඥයන් සහ රටේ සියලු මහජනයා නියෝජනය කළ යුත්තේ ශ්‍රී ලංකාවයි.

එතුමාගේ නායකත්වය අපේ රටට වැදගත් වෙන්නේ මේ නිසායි. අප ලාංකිකයන් විදිහට මේ වෙලාවේ සන්තෝස වෙන්න ඕනෑ. එයාලට ඕන නායකයෙක් අපේ රට පාලනය කරනවා බලන්න ජාත්‍යන්තරයට අවශ්‍ය වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය වන්නේ අපේ රටත් එක්ක හිටගන්න පුළුවන් නායකයෙක්. එහෙම නායකයෙක් දැන් අපට ලැබිලා තිබෙනවා. එතුමාගෙන් අප ඒ ප්‍රයෝජන අරගෙන ලෝකයත් සමඟ අපේ රට ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා.

ශිරෝමි අබයසිංහ

Social Sharing
නවතම පුවත්