තවමත් අප රටට ගැළපෙන පශු සම්පත් සංවර්ධන සැලසුමක් නෑ!

දේශීය කිරි අවශ්‍යතාවයෙන් 60%ක් තවමත් ආනයනය කරන බැවින් දේශීය කිරි කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් දේශීය හා විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීමේ වැඩපිළිවෙළක් පශු සම්පත් අංශය මඟින් හඳුන්වා දිය යුතු බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

ලොව බොහෝ රටවල් කිරි කර්මාන්තය සඳහා තම රටට ගැළපෙන පශු සම්පත් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ ද තවමත් අපේ රටට ගැළපෙන පශු සම්පත් නිෂ්පාදනය කිරීමට අදාළ නිලධාරින්ට නොහැකි වීම රටේ අභාග්‍යයක් බව ද ඇමැතිවරයා කීය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) මඟින් මැල්සිරිපුර සත්ත්ව ගොවිපොළේදී පැවැත්වූ ‘2023 ජාතික පශු සම්පත් ප්‍රදර්ශනය’ පසුගියදා (06) විවෘත කරමින් ඇමැතිවරයා මේ බව අවධාරණය කළේය.

දේශීය ගවයන්ගෙන් ඉහළ කිරි අස්වැන්නක් ලබා ගැනීමට හැකි තාක්ෂණය පිළිබඳ දැනුමක් අපේ පශු සම්පත් අංශයේ නිලධාරීන්ට තිබුණත් එම දැනුම සාමාන්‍ය කිරි ගොවීන්ට දී නැති බව පෙන්වා දුන් ඇමැතිවරයා අවධාරණය කළේ මේ නව තාක්ෂණික දැනුම කිරි ගොවීන්ට දීමට පියවර ගන්නේ නම් අපේ රටේ දැනට නිෂ්පාදනය කෙරෙන කිරි ප්‍රමාණය තවත් වැඩි කර ගැනීමට හැකියාව තිබෙන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙම අදහස් ද පළ කළේය.

‘ලොව බොහෝ රටවල් තම රටේ කිරි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා එම රටට ගැළපෙන ගවයන් හා එළුවන් වැනි සතුන් පර්යේෂණ මඟින් නිෂ්පාදනය කරගෙන තිබෙනවා. අපේ රටේ කිරි කර්මාන්තයට දිගු ඉතිහාසයක් තිබුණත් තවමත් අපේ රටට ගැළපෙන ගවයන් හා එළුවන් වැනි සතුන් නිෂ්පාදනය කිරීමට අපේ රටේ මෙම අංශයේ කටයුතු කරන නිලධාරින්ට හැකි වී නැහැ. අඩු තරමින් ඒ සඳහා උත්සාහයක්වත් දරන බව පෙනී යන්නේ නැහැ. මම කිහිප අවස්ථාවකදී මේ ගැන නිලධාරින්ට උපදෙස් දුන්නා. ඔවුන් ඒ වෙලාවට අහගෙන ඉඳලා පසුව ඒක අමතක කරනවා. පසුගිය කාලයේ නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ආදි රටවලින් කිරි ගවයන් ආනයනය කළත් එම ව්‍යාපෘති සියල්ල අසාර්ථක වී තිබෙනවා. එම නිසා දැනුම හැකියාව ඇති විද්‍යාඥයන් සිටියදී අප රටට ගැළපෙන උසස් වර්ගයේ ගවයන් හා එළුවන් විශේෂ ජාන තාක්ෂණය උපයෝගි කර ගනිමින් හෝ නිෂ්පාදනය කිරීමට පියවර නොගැනීම රටේ අභාග්‍යයක්.

අපේ රටේ කිරි අවශ්‍යතාවයෙන් මේ වන විට නිපදවන්නේ සියයට 40යි. ඉතිරි සියයට 60 ආනයනය කරනවා. නමුත් වර්තමානයේ කිරි හා මස් කර්මාන්තය යනු ඉහළ ආදායම් ඉපයිය හැකි කර්මාන්තයක්. ඒ නිසා මෙම කර්මාන්තයේ ආයෝජනය සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීමේ වැඩපිළිවෙළක් පශු සම්පත් අංශය මඟින් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම දේශීය ගවයන්ගෙන් ඉහළ කිරි අස්වැන්නක් ලබා ගැනීමට හැකි තාක්ෂණය පිළිබඳ දැනුමක් අපේ පශු සම්පත් අංශයේ නිලධාරින්ට තිබුණත් එම දැනුම සාමාන්‍ය කිරි ගොවීන් වෙතට ලැබී නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ කිරි ගවයන්ගෙන් කිරි ලබා ගන්නේ දවසකට එක්වරයි. නමුත් අවශ්‍ය ආහාර, ජලය හා විවේකය ලබා දීම මඟින් පමණක් ගව දෙනකගෙන් දිනකට කිරි ලීටර 60ක් පමණ ලබා ගැනීමට පුළුවන්. මේ සඳහා නව තාක්ෂණික දැනුම කිරි ගොවීන්ට ලබා දීමට පියවර ගන්නේ නම් අපේ රටේ දැනට නිෂ්පාදනය කෙරෙන කිරි ප්‍රමාණය තවත් වැඩි කරගත හැකියි. කෙසේ වුවද මෙවැනි පශු සම්පත් ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ පළමු වරටයි. ඒ සඳහා කටයුතු කිරීම පිළිබඳ මම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා යැයි ද ඇමැතිවරයා පැවසීය.

වසර 25කට වැඩි කාලයක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සේවය කළ සේවකයන් වෙත සම්මාන පිරිනැමීම ද ඇමැති අමරවීර මහතා අතින් සිදු කෙරිණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ උඩුකුඹුර, NLDB සභාපති මහාචාර්ය එච්.ඩබ්. සිරිල් මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

කුරුණෑගල සුනිල් එස්. පැල්ලන්දෙණිය

Social Sharing
ආර්ථික නවතම පුවත්