පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයාගන්න සමස්ත පාර්ලිමේන්තුවම එක්ව තීරණයක් ගත යුතුයි!

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයාගැනීම සඳහා පරීක්ෂණ පැවැත්විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් සමස්ත පාර්ලිමේන්තුවම එක්ව තීරණයක් ගත යුතු බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කෙළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ නිවේදනය ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

පාස්කු ප්‍රහාරයේ නඩුව සම්බන්ධයෙන් තීරණ දීමේදී විනිසුරුවරුන් හෝ නීතිපතිවරයා අතින් කිසිදු අක්‍රමිකතාවක් නොවූ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. පදනමක් නොමැති අධිකරණය කෙරෙහි අවිශ්වාසයක් ඇති කරන ආකාරයේ චෝදනා ඉදිරිපත් කිරීමේදී රාසමානික්කම් මන්ත්‍රීවරයා මීට වඩා පරෙස්සම් විය යුතුයි. අධිකරණ විනිසුරුවරුන්ට සහ අධිකරණ ක්ෂේත්‍රයට බරපතළ චෝදනා රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් මහතා සිදු කළා. පිල්ලෙයාන් මන්ත්‍රීවරයා නිදහස් කිරීම සඳහා අධිකරණය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවත් එහි කොටස්කරුවන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන නවාස්, වෙංගප්පුලි, අභියාචනාධිකරණයේ එවකට විනිසුරුවරියක් වූ දේවිකා අබේරත්න මහත්ම මහත්මීන් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් බවත් මන්ත්‍රීවරයා කියා සිටියා. අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ තිබෙන විශ්වාසය මේ චෝදනාවත් සමඟ බරපතළ ලෙස බිඳවැටීමට හේතු වී තිබෙනවා. හිටපු මන්ත්‍රීවරයෙක් ඝාතනය කිරීම සම්බන්ධ නඩුව තුළදී මඩකලපුව අධිකරණයේදී දුන් තීන්දුව වනුයේ චුදිතයෙක් කිසියම් පාපොච්චාරණයක් කළොත් ඒ පාපොච්චාරණය අධිකරණයට භාර ගත හැකි ලෙස ස්වේච්ඡාවෙන් කී එකක්ද යන්න නඩුවට පෙර විමර්ශනය කිරීම මෙරට මහාධිකරණයේ නීති පද්ධතිය වෙනවා. එතැනදී මහාධිකරණ විනිසුරුවරයා දුන් නඩු තීන්දුවට එරෙහිව පිල්ලෙයාන් මහතා නොව එම නඩුවේ සිටි වෙනත් චුදිතයන් දෙදෙනෙක් ප්‍රතිශෝධන ඉල්ලුම්පත් දෙකක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ අපරාධ නඩු ඇසීම සඳහා විනිශ්චය මණ්ඩල දෙකක් තිබෙනවා. ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුක්ත විනිශ්චය මණ්ඩලයට තමයි මේ නඩුව ඉදිරිපත් කළේ. පෞද්ගලික හේතුවක් නිසා මේ නඩුව ඇසිය නොහැකි බවට ඒ මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කළා.

එවකට අභියාචනාධිකරණයේ සභාපතිවරයා වූයේ නවාස් මහතා. ඒ විනිසුරුවරයා මේ නඩුව විභාගයට ගත්තේ නැහැ. අපරාධ නඩු සම්බන්ධයෙන් වෙන් කළ තවත් විනිශ්චය ආසනයක් තිබෙනවා. එහි විනිසුරුවරයා වූයේ වෙංගප්පුලි මහතා. මේ පාපොච්චාරණය හැර චුදිතයන්ට එරෙහිව මේ නඩුව ගෙනයෑමට වෙනත් සාක්ෂි තිබෙනවා ද කියලා එවකට නීතිපතිවරයා වූ දප්පුල ලිවේරා මහතා විමසා තිබෙනවා.

Social Sharing
නවතම පුවත්