දුම්රිය මාර්ගවල සිදු වන අනතුරු වැළැක්වීමට අවම වියදම් නව ගේට්ටු ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා…

දුම්රිය මාර්ගවල ඇති අනතුරුදායක ස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීම වෙනුවෙන් අවම වියදම් යටතේ නව ගේට්ටු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කෙළේය.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙසේද සඳහන් කළේය. මේ සඳහා ලක්ෂ හත්දහස් පන්සියයක මුදලක් මාර්ග අනතුරු වැළැක්වීමේ ජාතික ආයතනය ලබා දෙනවා. අනෙක් මුදල් පුණ්‍යවන්තයින්ගෙන් ලබා ගැනීමට අපේක්ෂා කරනවා.

දුම්රිය මාර්ගවල අනතුරුදායක ස්ථානවලට නව ගේට්ටු ක්‍රමවේදයක් හඳුන්වා දීම වෙනුවෙන් අත්හදා බැලීමක් පසුගිය පොසොන් පොහොය දවසේ කැළණි මිටියාවතේ ගොඩගම දුම්රිය ස්ථානය ආශ්‍රිතව සිදු කළා. රුපියල් ලක්ෂ 15ක් වැනි අවම මුදලක් යටතේ මෙය සිදු කිරීමට අපේක්ෂා කරන අතර, සමාජ සත්කාරක වැඩසටහනක් සේ මෙය ක්‍රියාත්මක කරනවා.

රත්මලානේ පිහිටි ජර්මන් දුම්රිය තාක්ෂණ ආයතනය රුසියාවේ තිබෙන විශ්වවිද්‍යාලයක් සමඟ ඒකාබද්ධ කර මෙහි තත්ත්වය උසස් කිරීමට අපේක්ෂා කරනවා. එමෙන්ම ජාත්‍යන්තර මට්ටමටත් ශ්‍රමිකයන් යැවිය හැකි පරිදි මෙය උසස් කරන්නට සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රුසියානු විශ්වවිද්‍යාලයක් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින අතර, එයින් පිටවන සියලු දෙනා අපි දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගන්නවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ පුහුණු ආයතනය වන්නේ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය නොව ශ්‍රී ලංකා දුම්රිය ජර්මන් කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයයි. 1894දී ආරම්භ කර ඇති මෙම ආයතනය මඟින් පුහුණුව ලබන ආධුනික තාක්ෂණ ශිල්පීන් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම් සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනයේ පුහුණුව ලැබු 188 දෙනකු දුම්රිය තාක්ෂණි සහකාර ශ්‍රේණිය සඳහා 2019-11-05 වන දින අවසන් වරට බඳවාගෙන තිබෙනවා.

Social Sharing
නවතම පුවත්