අවුරුදු 50ට අඩු පුද්ගලයන් මිලියනයක් පිළිකා රෝගයෙන් වාර්ෂිකව මිය යන බවට වාර්තාවක්…

ගත වූ දශක තුන ඇතුළත අවුරුදු 50ට වඩා අඩු පුද්ගලයන් අතර පිළිකා රෝගය ව්‍යාප්ත වීම 80%කින් ඉහළ ගොස් ඇතැයි ද, අවුරුදු 50ට අඩු පුද්ගලයන් මිලියනයකට වඩා වාර්ෂිකව ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද ලෝක ප්‍රකට BMJ Oncology journal කළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. එය වසර 2030 වන විට තවත් 21% කින් ඉහළ යනු ඇතැයි ද එම සඟරාව අනතුරු ඇඟවීමක් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

එය ඉතා බරපතළ තත්ත්වයක් බව පෙන්වා දී ඇති එම සඟරාවේ සමීක්ෂණය මෙය පාලනය කිරීමට වැඩිදුරටත් විමර්ශනයක් සිදු කළ යුතුව ඇතැයි ද සඳහන් කර තිබේ. රටවල් 204ක දත්ත ඇතුළත් කරමින් සකස් කර ඇති එම වාර්තාවට අනුව වයස අවුරුදු 14 සිට 49 දක්වා කාණ්ඩයේ පසුවන පුද්ගලයන්ට පිළිකාව වැලඳීමට ඇති අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බව ද වාර්තා වේ.

එම වාර්තාවට අනුව වසර 1990 සිට 2019 දක්වා ගත වූ කාලයේදී ආරම්භයේ මිලියන 1.82ක්ව පැවැති පිළිකාවට නිරාවරණය වීමේ සංඛ්‍යාව අනතුරුව මිලියන 3.26 දක්වා ඉහළ ගොස් තිබේ.

දුම්පානය, මත්පැන්, තරබාරුකම, ව්‍යායාම නොකිරීම සහ නැවුම් එළවළු හා පලතුරු හිඟකම තරුණ පරපුර අතර පිළිකාව බහුලව ව්‍යාප්ත වීමට හේතු වී ඇති බැවින් ලොව පුරා තරුණ පරපුරේ ජීවන රටාව සම්බන්ධව කරුණු පැහැදිලි කරදීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇතැයි ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සාන්ත ජෝන් රෝහලේ වෛද්‍යවරයකු වන සයිඩ් අලි ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්