පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තාව කතෝලික සභාවට ලබා දුන්නා…

පාස්කු ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත කතෝලික සභාවට ලබා දුන් බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන විමර්ශනවලට සහාය ලබා දෙන ලෙස කතෝලික සභාවෙන් ඉල්ලා සිටි බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

රාජ්‍ය නොවන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී ඇති නමුත් දුමින්ද නාගමුව සොයා ගැනීමට නොහැකි බැවින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා අපොහොසත් වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. අධිකරණය මාර්ගයෙන් හෝ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන බව කී අමාත්‍යවරයා වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමකට රජය ඉඩ තබා නොමැති බවත් අවධාරණය කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාන් අලස් මහතා මෙසේද පැවසීය.

පොලිස් දෙපාර්තමේන්තුව වර්තමානය වන විට දේශපාලනයෙන් තොරව වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම රටේ නීතිය උපරිමයෙන් සුරැකීමට ද කැප වී සිටිනවා. පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සපයා දීමට ද රජය පියවර ගෙන තිබෙනවා. වත්මන් රජය පත්වී තවම ගතවී ඇත්තේ වසරක පමණ කෙටි කාලයක්. ඒ නිසා වසරක් වැනි කාලයක් තුළ එහි සියලු අඩු පාඩු සම්පූර්ණ කිරීමට හැකියාවක් නැහැ.

නමුත් වසරක් තුළ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කර තිබෙනවා. දැනට පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන් 85000ක් පමණ සිටිනවා. පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවරම මැඬලීම සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. ඒ වගේම මත්ද්‍රව්‍යවලින් තරුණයන් බේරා ගැනීමේ පුළුල් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා තිබෙන බව කිව යුතුයි.

දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම්වල වැඩි වීමක් පසුගිය කාල සීමාව තුළ දක්නට ලැබුණා. එම නිසා විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය, ආරක්ෂක අංශ සමඟ එක්ව දකුණු පළාතේ සුවිශේෂී මෙහෙයුම් ආරම්භ කළා. ඒ අනුව දකුණු පළාත තුළ පාතාල ක්‍රියාකාරකම් සැලකිය යුතු අන්දමින් මර්දනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ දැනටමත් රජය ක්‍රියාත්මක කර තිබෙනවා. වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමට කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැහැ.

අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය දැන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය කාලය පුරාම විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනතාව විශාල වශයෙන් පෝලිම්වල රැඳී සිටියා. ඒ වගේම එහි විවිධ වංචා, දූෂණ සිදු වුණා. දැන් එවැනි වංචනික ක්‍රියාවන්ට කිසිදු ඉඩක් හිමි වන්නේ නැහැ. දැන් ඕනෑම අයෙකුට පෝලිම්වල නොසිට විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්න පුළුවන්. විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළව ඇඟිලි සලකුණු ලබා ගැනීමේ ස්ථාන 51ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට ද කටයුතු කර තිබෙනවා. මේ නිසා කෙටි කාලයක් තුළ විදෙස් ගමන් බලපත්‍රය නිවෙසටම ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවාවන් කාර්යක්ෂමව කරගෙන යෑමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇතැම් අවස්ථාවල පරිගණක දෝෂ සහ බිඳවැටීම් සිදු වෙනවා. එවැනි ප්‍රශ්න තවදුරටත් සිදු නොවීමට නවීන තාක්ෂණය යොදාගැනීමට අප කටයුතු කර තිබෙනවා.

අගෝ. 12 වන දා පැවති මාධ්‍ය හමුවකදී ටිරාන් අලස් මහතා ජනතා විමුක්ති පෙරමුණ සමඟ යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“ඒ සම්බන්ධයෙන් මා CID යට කටඋත්තරයක් දුන්නා. එම ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න කිව්වා. හරි දේ කරන්න. වැරදි කරන අය මොන තරාතිරමේ වුණත් ඇක්ෂන් ගන්නා ලෙස මා හැම තිස්සෙම කියලා තියෙන්නේ. මා එසේ කර තියෙනවා නම් මට විරුද්ධවත් ඇක්ෂන් ගන්න. වහා ම පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා මා කටඋත්තර දුන්නා. අවාසනාවකට වගේ සීඅයිඩී එකට තාම බැරි වුණා කටඋත්තරයක් ගන්න දුමින්ද නාගමුවගෙන්. යන යන තැන එයා නෑ.”

2010 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, අර්ජුණ රණතුංග සමඟ එක්ව මා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පිහිටුවූවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම්වරයෙකු වන පුබුදු ජයගොඩ සහ දුමින්ද නාගමුව එවකට මගේ කාර්යාලයේ සේවය කළා.

ඔහු සොරකමක් ගැන නොකියූ බවත් මහජන ආරක්ෂක ඇමැතිවරයා ජේවීපී එක සමඟ දේශපාලන ඩීල් එකක් තියෙනවා යැයි පුබුදු ජාගොඩ මහතා කියා තිබෙනවා මා අද පත්තරේක දුටුවා.

මට ජේවීපී එකත් එක්ක දේශපාලන ඩීල් එකක් තිබුණේ 2010 ඉඳන්. 2010 දී මමයි, ජේවීපීයයි, ජෙනරාල් ෆොන්සේක යි, අර්ජුණ රණතුංග යි ඔක්කොම එකට ඩීඑන්ඒ එක හදලා පාර්ලිමේන්තු ගියා. එතකොට ඔය පුබුදු ජයගොඩ යි, දුමින්ද නාගමුව යි මගේ ඔෆිස් එකේ වැඩ කළා. කන්නෙත් මගේ ඔෆිස් එකේ. ඉතින් එහෙම ඩීල් එකක් තිබිලා තියෙනවා, ඒ වෙලාවේ අප එකට දේශපාලනය කෙරුවා. දැන් ආයේ අප වෙන වෙන ම දේශපාලනය කරනවා.

Social Sharing
නවතම පුවත්