ඇල්කඩුව පහළ රත්වත්ත වතු අධිකාරිවරයාගේ කෙරුවාව!

මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්ලාන්ටේෂන් වතු සමාගමට අයිති පහළ රත්වත්ත වතු යායේ පසුගිය 19 වෙනිදා සිදු වූයේ ඉතාමත් අශිෂ්ථ සහ අමනුෂ්‍ය ක්‍රියාවකි. අඩි දහයයි දහයේ ලැයිම් කාමරයක පවුලේ සාමාජිකයන් 14 දෙනෙකුට ජීවිකාව ගෙනයෑමට අපහසු නිසාවෙන් ඇල්කඩුව වතු යායේ සේවය කළ පවුලක් කලක් තිස්සේම එවකට එල්කඩුව වතු යායේ වතු අධිකාරිවරයාගෙන් ඉල්ලීම් කරමින් දිගින් දිගටම පවසා ඇත්තේ තම පවුලට ඉඩමක් ලබා දෙනවානම් ඔවුන්ට එහි නිවසක් තනා ගැනීමට හැකි බවයි. අවුරුදු දෙකකට ඉහතදී මෙසේ ඔවුන් කළ ඉල්ලීමට වතු අධිකාරිවරයා අවධානය යොමු කළද පර්චස් 10ට ආසන්න ඉඩමක් ලබා දී ඇත්තේ කට වචනයට මිස කිසිඳු නීතිමය ලියකියවිල්ලක් මත පදනම් ව නොවේ. කෙසේ වෙතත් ඔවුන් පවුලේ අයට ජීවත් විය හැකි පමණින් හිසට තාවකාලික සෙවනක් අටවාගෙන පෙරේදා වෙන තුරු ජීවත් වූයේ අඩු තරමින් නිදා වැටෙන්නට ඉඩකඩක් හෝ ලැබී ඇති හෙයිනි.

පසුගිය සෙනසුරාදා දින (19) එම පවුලට තමන්ගේ නිවස අහිම් විය. ඒ එල්කඩුව වතු යායට පත් වූ නව වතු අධිකාරිවරයා ගේ සහ සහකාර වතු අධිකාරිවරයා ගේ වුවමනාවටය. එදින දහවලේ සහකාර වතු අධිකාරිවරයා සහ තවත් පිරිසක් මෙම පවුල පදිංචි ව සිටින ඉඩමට කඩා වැදී තහඩු සෙවිලි කර තිබූ නිවස ගලවා දමා ඔවුන්ගේ දහවල් ආහරය සඳහා පිළියෙල කර තිබූ දේවල් ද විනාශ කර ඇත. එය ඉතාමත් අසික්කිත සහ නින්දිත ක්‍රියාවකි.

එම පවුලට සිදු වූ මෙම අසාධාරණය පිළිබඳව පැමිණිලි කිරීමට කන්දෙ නුවර පොලිසිය වෙත ඔවුන් ගිය පසුව එහි සිටි නිලධාරීන් පවසා ඇත්තේ වතු අධිකාරිවරයාට ඔවුන්ව වත්තෙන් නෙරපා හැරීමට රාජකාරි බලතල ඇති බවත් ඒ නිසාවෙන් මෙම සිදුවීම ඒ හැටි වද විය යුතු කාරණාවක් නොවන බවත් ය. අගතියට පත් ඒ දමිළ පවුල ඔවුන්ට සිදු වූ අලාභහානියේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ යැයි පැවසූ විට පොලිසිය ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක් වූ බවක් දැනගැනිමට ඇත. කෙසේ හෝ කන්දේ නුවර පොලිසිය විසින් මෙම පවුල තවත් පහතට ඇද දමා ඇති අතර ඔවුනට සාධාරණයක් ඉටු කිරීමට මැලි වී තිබිණි.

මෙම සිදුවීම මුල් කරගෙන අදාල වතු අධිකාරිවරයාගේ කාර්යාලය ඉදිරිපිට ඊයේ දින වතු යායේ තරුණයින් උද්ඝෝෂණයක නිරත වී ඇති අතර ඒ අතරතූරේ දී අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඒ ස්ථානයට පැමිණ තිබිණි. අමාත්‍යවරයා එම වතු යායේ වතු අධිකාරිවරයා සමඟ ඇති වූ බහින් බස් වීමකින් තත්වය තරමක් උණුසුම් වී ඇත. ජීවන් අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙවැනි පවුල් 11 මෙම වතු යායේ ජිවත් වන බවත් ඔවුනට අමාත්‍යාංශය විසින් නිවෙස් ඉදි කර දීමට ඉඩම් ලබාදෙන ලෙසයි. ඒ වගේම මෙම පවුල ජීවත් වූ නිවස කඩා බිඳ දැමූ වතු අධිකාරිවරයා ගේ වැඩ තහනම් කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා ඇති බවත් ආරංචි මාර්ග ඔස්සේ අයිතියට වාර්තා වී තිබේ.

වතුකරයේ ජනතාව ගේ නිවාස ප්‍රශ්න තවමත් එතැනමය. පරම්පරා ගණනකට එකම නිවසක ජීවත් වීම හැර ඔවුනට අන් විකල්පයක් නැත. අඩි දහයි දහයේ ලැයිම් කාමරයක පවුලේ සාමජිකයන් 10 – 15 සමඟ ජීවත් වීම ඉතාමත් දුෂ්කර ක්‍රියාවකි. ඔවුන්ට සුවපහසු ජීවිතයක් අත් කර ගැනීමට මඟ ඇහිරෙන තවත් එක් කාරණාවක් වන්නේ තවමත් ඔවුන් වහල් සේවයට කැප වී ඇතැයි සිතන සමාජ සිතුවිල්ල නිසාවෙනි. දේශපාලනයෙන් මෙතෙක් සිදු වී ඇත්තේ ඔවුන්ව රවටා බලය ලබාගැනීම පමණි. නමුත් ඔවුන්ට ඇති දහසකුත් ගැටළු වලට ද අවශ්‍ය වන්නේ දේශපාලනික විසඳුම් මිස සීනි තැවරූ බලාපොරොත්තු නොවේ. දේශපාලනික විසඳුම් ලබා ගැනීමට නම් කළ යුත්තේ කුමක්ද කියා අපට අදහසක් තිබෙනවාද යන්න සමාජය දෙසට යොමු කළ යුතු පැනයකි. එසේ නැතිනම් ඔබට ඔවුන් මේ රටේ සුළුතරයක් ලෙස දැක ඔවුන් ජීවත් වන ආකාරය ඕනෑවටත් වඩා වැඩිය යනුවෙන් සිතා අහක බලා ගැනීමට ද හැකියාවක් ඇත. නමුත් ඔබේ හෘද සාක්ෂිය ඔබව කොනිත්තන්නට පටන්ගන්නේ එතැන් සිටය.

-සමුදු බස්නායක-

Social Sharing
අවකාශය නවතම පුවත්