මංගල: ඊතලයක වේදනාව සහ පිහාටුවක සැහැල්ලුව!

දේශපාලනය ඇතුලේ මංගල ස්ථානගත කරන්න වෙන්නේ කළු සහ සුදු අතරේ තැනක. වඩාත් පැහැදිළිව කිව්වොත් කළු සිට සුදු වෙත සංක්‍රමණය වෙමින් තිබ්බ තැනක.

චන්ද්‍රිකාගේ රාජ්‍ය පාලන කාලය ඇතුලේ අපි ගොඩක් දැක්කේ කළු මංගල කෙනෙක්. හැබැයි එයාගේ අමාත්‍යංශවල එයා ගොඩක් වැඩ කරලා පෙන්නුවා. නමුත් දේශපාලනය ගලාගිය විදිය ගත්තම, විශේෂයෙන් ජනමාධ්‍ය ඇමතිකම කරන කාලයේ එයාගේ දේශපාලනය ඇතුලේ ගොඩක් තිබ්බ ඒ අඳුරු පැත්ත. විශාල කළු වලාකුලක් විදියට. හාත්පස පැතිරගෙන.

සියල්ල ඉවරවෙලා, මහින්ද බලයට ඇවිල්ල, මහින්ද බලයෙන් ගිහිල්ල, යහපාලනය ඇවිල්ල, යහපාලනයත් බලයෙන් ගිහිල්ල, ආයේ ගෝඨා ඇවිල්ල ඉන්න කාලේ විතර මංගල දේශපාලන බ්‍රේක් එකක් ගහනවා. එයාගේ සමීපම අය කියන්නේ මංගල ආයේ පොත් පත් කියවන්න, අධ්‍යයනය කරන්න, දේශපාලනය ඇතුලේ තමන් කරපු කියපු දේ ගැන ආයෙත් හැරිලා බලන්න පෙළඹෙනවා කියල. ඇතැම් දේ ගැන එයා පසුතැවිලි වෙලා තියනවා.

තරුණ මංගල ඒ තරුණ ජවය සහිතව චන්ද්‍රිකා එක්ක ලංකාවේ බලපෑම් සහගත දේශපාලනයක් කරනවා. ඒ ආණ්ඩුවේ නිල නොලත් අගමැති වගේ මංගල හිටිය. ඒ ගමන එයා දශක එකහමාරක් විතර යනවා. නොයෙක් ප්‍රභල නිලතල එක්ක.

ඒ සියලු කාලවල එයා ලංකාවේ වෙනම තලයක දේශපාලන මතවාදයක් හදන්න සෑහෙන පිටුබලයක් දෙනවා. ඒවායේ ප්‍රතිඵලත් ගොඩක් වෙලාවට දකින්න තියනවා.

පස්සේ තමයි හැරිලා බලන්නේ. ඒ තරමක් වියපත් මංගල කෙනෙක්.

නමුත් තවත් දීර්ඝ ගමනක් යන්න කොරෝනා වෛරස් එක මංගලට ඉඩ දෙන්නේ නැහැ. යම් අලුත් මංගල කෙනෙක් ඉපදුණා නම් ඒ ”නව ඉපදීම” කොයි වගේ ඇද්ද කියන එක ගැන ඒ නිසා අපිට කිසිවක් කියන්න වෙන්නේ නැහැ. පැවැත්මේ ලිහාගත නොහැකි ප්‍රෙහේලිකාව මම තේරුම් ගන්නේ මෙතැනින්.

ඊතලයක වේදනාවත් පිහාටුවක සැහැල්ලුවත් එකවරම මනුෂ්‍යයෙක් ළඟ තිබ්බ අවස්ථාවක් තමයි මංගල කියන්නේ (a feathered arrow).

වේදනාව සහ පසුතැවිල්ල එක්ක එයා යම් අඳුරු කොරිඩෝවක් පසුකරන්න අවසන් කාලේ උත්සාහ අරගෙන තියනවා. දැන් තියෙන්නේ ඒ අඳුරු කොරිඩෝව දිගේ මංගල යම් ආලෝකයෙක් වෙත පියමැන්නා නම් ඒ මාවත දෙස අපි සැලකිල්ලෙන් බලන එක විතරයි.

එන්න…ලංකාවේ තවත් එක වෙනස්ම මිනිසෙක් සහ ඔහුගේ තිබූ යම් වෙනස්ම ලිබරල් දේශපාලන උරුමයක් දෙස අපි නැවත හැරී බලමු. ඒ මිනිසාගෙනුත් ඉගෙනගනිමු. ඇතැම්විට ඊටත් වඩා යහපත් මනුෂ්‍යත්යක් වෙත යන්න අධිෂ්ඨාන කරගමු!

ස්ටීව් වයින්වුඩ්ගේ මේ සිංදුව මංගලගේ අඳුරෙන් ආලෝකය වෙත ගමන් කිරීමට උත්සාහ කළ සංක්‍රමණීය ජීවිතය වෙනුවෙන්.

මේ බ්‍රහස්පතින්දා හවස 3.15 ට කොළඹ ලක්ෂමන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී.

Steve Winwood_Back in the High Life Again

Social Sharing
අවකාශය නවතම පුවත්