අරාජකවාදයේ කොවිඩ් වයිරසය සමග සටන් වැද සිටින ලංකාව

Sri Lanka is fighting against the covid virus of anarchism

-අජිත් පැරකුම් ජයසිංහ-

අරාජකවාදය සාමාන්‍යයෙන් බල අධිකාරයන් සැක කරනවා. ජාතික රාජ්‍යයන් සහ ධනවාදය ඇතුළුව බලහත්කාරය සහ ධුරාවලි පවත්වාගෙන යන බව පවසන ආයතන අහෝසි කිරීමට අරාජකවාදීන් උත්සාහ කරනවා. අරාජකවාදය රාජ්‍ය නොවන සමාජ සහ ස්වේච්ඡා නිදහස් සංගම් ඇතිකිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙම කිව්වාට අරාජකවාදය ඊට වඩා සංකීර්ණයි. විවිධාකාරයි. ලංකාවෙ නම් බහුතරයක් අරාජකවාදීන්ට පැහැදිලි අරමුණකුත් නැහැ. ඇතැමෙකු ජවිපෙ ආණ්ඩුවක් අපේක්ෂා කරනවා. ඇතැමෙකු පෙසපට පක්ෂයි. කොමියුනිස්ට් සමාජ ක්‍රමයක් ගැන හිතනවා. මේ මොහොතේ රට මුහුණ දෙන ප්‍රශ්නවලට මේ කාටවත් ප්‍රායෝගික විසඳුම් නැහැ.

මේ අයත් ඇතුළුව ඉතා භයානක අරාජකවාදී ප්‍රවණතාවක් රටේ ව්‍යාප්ත වී තිබෙනවා. ඒ 2022 අරගලයත් සමග මතු වූ නොගැඹුරු විරෝධතාවාදය. මේ පිරිස ඕනැ දෙයකට විරුද්ධයි. කිසිවකට පක්ෂ නැහැ. නායකත්වයක් පිළිගන්නේත් නැහැ. ඔවුන් වර්තමානයේ මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් තමන්ගේ කිසිම වගකීමක් ඇතැයි ඔවුන් පිළිගන්නේ නැහැ. එයට පසුගිය කාලයේ රට පාලනය කළ පාලකයන් වගකිව යුතු බව කියන ඔවුන් ඇතැම් විට ඒ සම්බන්ධයෙන් අතීත පරම්පරාවන්ට ද වෛර කරනවා. වැඩිහිටියන්ට වෛර කරනවා. ඔවුන් කිසිදු විසඳුමකට සහාය දෙන්නේ නැහැ. බොහෝදෙනෙකු මේ රට වැඩක් නැහැ, මෙතැනින් පළා යා යුතුයි වගේ හැඟිමක ඉන්නවා. නොහැකියාව නිසා නොගිහින් ඉන්න පිරිස තමයි ඒ අතර බහුතරය.

තමන්ට අහිමි වූ දේ ගැන වැඩිහිටි පරම්පරාවට වෛර කරන ඔවුන්ට අමතක වන දෙයක් තමයි ඔවුන්ට හිමි වී තිබෙන දේ. ඒවා ඔවුන්ට ලබාදුන්නේ වැඩිහිටි පරම්පරා බව ඔවුන්ට අමතකයි. උදාහරණයක් විදියට 20වන සියවස මුල් හරියේ සමාජ යථාර්ථය නිරූපණය කරන නවකතාවක් වන ගම්පෙරළියේ නන්දාගේ දරුවා මියයන්නේ නිවසේ සිදු වූ දරු උපතකදී මළ කෑ කතුරකින් පෙකණිවැල කැපීම නිසා සිදු වූ ආසාදනයකින්. අද වන විට හදිසි අවස්ථාවකදී හැර 100%ක්ම දරු උපත් සිදුවන්නේ රෝහල්වල. ළදරු මරණ, මාතෘ මරණ දියුණුම රටවල මට්ටමට අවමයි. මේවා අපට ලබාදුන්නේ කවුරුද? ඒ වැඩිහිටි පරම්පරාවන්ට, නායකයන්ට කිසිම ගරුත්වයකට අයිතියක් නැද්ද?

ඒ වගේම, මේ වන විට ලංකාව බටහිර රටවලට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් මෙරට නිදහස් අධ්‍යාපනය හරහා නිර්මාණය කර දෙන තත්වයට දියුණු වෙලා. අති විශාල මහජන මුදලක් වැය කර නිෂ්පාදනය කරන වෛද්‍යවරුන් දක්වාම වෘත්තිකයන් අද ලංකාවෙන් ලෝකයටම යනවා. ඒ අය යන්නේ මේ රටේ ආර්ථික අර්බුදය නිසාම නෙමෙයි. වැඩිදෙනෙකු කොහොමත් යනවා. ඒ යාම පාරිභෝජනවාදයේ හා උන්නතිකාමයේ ස්වරූපයක්. ආර්ථික අර්බුදය නිසා දැන් රට යාම වැඩි වෙලා.

අතීතයට වඩා අද අපි කෙතරම් දියුණුද කියන්න ඉතා සරල උදාහරණයකින් පුළුවන්. අපේ ඇතැම් මුතුන් මිත්තන් මළපහ කළේ ගෙට තිස් බඹයක් ඈතින් ඒ වෙනුවෙන් වෙන් කර තිබුණු නිසා තිස්බඹේ යයි හැඳින්වුණ බැද්දෙ. සීයලාගේ කාලෙ වල වැසිකිළි ආවා. හැත්තෑව දශකය වෙනකොට රටේ ජල මුද්‍රිත වැසිකිළි ප්‍රචලිත වුණා. දැන් කවුරුවත් මළපහ කරන්නට කැලේට යන්නෙ නැති තරම්. එපමණක් නොවෙයි, දැන් කාමරවලට යාබදව වියළි වැසිකිළිත් තියෙනවා. වැසිකිළිය දැන් ඉතා ප්‍රියමනාප තැනක් බවට පත්වෙමින් තිබෙනවා. ඉස්සර තිබුණු කොකු පණු රෝගය, පාණ්ඩුව වැනි තත්වයන් දැන් නැහැ. මේ ජයග්‍රහණ කාගෙද?

තමන්ගේ උරුමය, ඉතිහාසය, ජනවර්ගය, ජාතිය, නායකත්වය ගැන අවමන් සහගතව, ලජ්ජාවෙන් සලකන්නට යොමු කරන, ඒ සියලු දේට වෛර කරන්නට අනාගත පරම්පරා යොමු කරන අරාජකවාදී දේශපාලනයක් විසින් ලංකාව ගිලගෙන තිබෙනවා. එය විශේෂයෙන්ම වාමාංශිකයන්, ලිබරල්වාදීන් ප්‍රමුඛ කරගෙන සමස්ත සමාජ දේහය පුරාම විහිදී අවසන්. අලුත්ම තත්වයක් නොවුණාට ආර්ථික දේශපාලනික හා නායකත්ව අර්බුදයත් එක්ක ඒක උඩු දුවලායි තියෙන්නෙ.

රාජ්‍ය සේවය තුළ මෙය ඉතා පැහැදිලිව දැකිය හැකියි. පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අරාජිකත්වයට ගොදුරු වී මේ වන විට ටියුෂන් වෙළඳපොළේ උවමනාවන් මත අනියමින් හැසිරවෙන විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ විගඩම් මඩුවක් වී අවසන්. එහි රාජ්‍ය අධ්‍යාපනයක් පවතින්නේ ප්‍රසිද්ධ විභාග පැවැත්වීම තුළ පමණයි. විභාග රාජකාරි ද දැන් අරාජකවාදයට ගොදුරු වෙලා.

කෘෂිකර්මාන්තයේ අරාජකවාදය ගැන නිදසුනක් පසුගිය දිනවල දකින්නට ලැබුණා. ඒ උඩවලවට සමනලවැවෙන් ජලය දීම සම්බන්ධයෙනුයි. ඒ ගැන විග්‍රහයක් ආචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර පසුගිය අගෝස්තු 9 ලංකාදීප පුවත්පතේ කාලීන සටහනේ කළා.

යල් කන්නයේ ජල හිඟය නිසා වැව්වල වතුර මට්ටම බලලා වගා කළ හැකි භූමි ප්‍රමාණය තීරණය කරන එක ඈත අතීතයේ සිට පැවති ක්‍රමයක්. ඒ වුණාට ගොවීන් දැන් ගොවි සංවිධාන හෝ නිලධාරීන් කියන විදියට කරන්නෙ නැහැ. පාලනයක් නැහැ. තීරණ හිතුමතේ.

“වාරිමාර්ග සහ කාලගුණ අංශවල පුරෝකථන අනුව මෙම කන්නයේ ජල සැපයුම අඩු වීමට ඉඩ ඇති නිසා තීරණය වූයේ උඩවලව දකුණු ඇළ ප්‍රදේශයේ මුළු වගා බිම් ප්‍රමාණය වූ හෙක්ටයාර 12094න් හෙක්ටයාර 6047ක වී වගා කිරීමට ද හෙක්ටයාර 6047ක වෙනත් භෝග ද වගා කිරීමටය.

“එහෙත් සමහරක් ගොවීහු එම තීරණයට වෙනස්ව කටයුතු කළහ. හෙක්ටයාර 9777ක වී වගා කර තිබුණි. කන්න රැස්වීමේ දී තීරණය වූයේ සියයට 50ක් වී සහ සියයට 50ක් වෙනත් භෝග වගා කිරීමට වුවත් වී වගා කරන ගොවීන්ගේ ප්‍රමාණය සියයට 67 දක්වා වැඩි වී වෙනත් භෝග වගා කරන ප්‍රමාණය සියයට 33 දක්වා අඩු විය.

“උඩවලව වම් ඇළ ප්‍රදේශයේ වී වගා කිරීමට හෙක්ටයාර 4897ක් ද වෙනත් භෝග සඳහා හෙක්ටයාර 4897ක් ද උක් වගාව සඳහා හෙක්ටයාර 1368ක් ද යොදා ගැනීමට තීරණය විය. එහෙත් ගොවීහු හෙක්ටයාර 5317ක වී වගාවද හෙක්ටයාර 5603ක වෙනත් භෝග ද වගා කළ අතර උක් වගාවේ යෙදුණේ හෙක්ටයාර 242ක පමණි.

“කන්න රැස්වීමේ දී තීරණ ගනු ලැබූයේ ඉහත සඳහන් ආකාරයට වුවද ගොවීන් විශාල පිරිසක් එම තීරණයට පිටුපා වී වගා කිරීම නිසාත් උක් වගාව අතහැර දැමීම නිසාත් ජල අවශ්‍යතාව බලාපොරොත්තු වූවාට වඩා විශාල ලෙස ඉහළ ගියේය.

“ඒ අතරම උඩවලව ප්‍රදේශයට බලාපොරොත්තු වූ පරිදි වර්ෂාව නොලැබීම නිසා ජල හිඟය උග්‍ර තත්ත්වයකට පත්විය. සමහරු යෝජනා කරන්නේ සමනල වැවෙන් උඩවලවට ජලය ගෙන ගොස් ඒවා ගොවීන්ට ලබා දී වී වගාව සහ අනෙකුත් භෝග වගා ආරක්ෂා කර ගත යුතු බවය. එහෙත් විදුලි බල අමාත්‍යංශයෙන් ප්‍රකාශ වන්නේ ඒ ආකාරයට සමනල වැවේ ජලය භාවිත කළහොත් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවී දකුණු පළාතට බලපාන ලෙස විදුලිය කපා හැරීම සිදුවන බවයි.

“සමනල වැවෙන් ජලය මුදාහැර උඩවලව ජල ප්‍රශ්නය විසඳීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ඒ හේතුවෙන් සමනල වැව ජලාශය 16 වැනිදා සිට වසා දැමීමට සිදුවනු ඇත. පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය ලබාගෙන විදුලි හිඟය පිළිබඳ ගැටලු‍වට විසඳුම් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

“ඒ සඳහා රුපියල් බිලියන 4ක මුදලක් අතිරේකව වැය කිරීමට සිදුවේ. වගා හානි සිදුවන ගොවීන්ට වන්දි ගෙවීමට කටයුතු කරන්නේ නම් මෙවැනි පාඩුවක් දැරීමට සිදු නොවනු ඇත. එසේ වුව ද කුඩා ප්‍රදේශයකට සීමා වන මෙම ගැටලු‍ව මහා විනාශයක් සිදුවන ආකාරයේ ජාතික ප්‍රශ්නයක් බවට පත්කර ගන්නා විට ඊට වන්දි ගෙවීමට සිදු වන්නේ මහජනතාවට බව මේ සිදුවීමෙන් පැහැදිලි වේ.”

– කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර (කාලීන සටහන, ලංකාදීප, අගෝස්තු 9)

මෙහි අරාජිකත්වය ගොවීන්ගේ මට්ටමේ සිට නිලධාරීන්, ජ්‍යේෂ්ඨ නිලධාරින් හරහා ඇමති මණ්ඩලය දක්වාම විහිදෙනවා. කංචන විජේසේකරට අවශ්‍ය විදුලිය නිපදවන්න. මහින්ද අමරවීරට අවශ්‍ය ගොවිතැනට වතුර දෙන්න. ඒ දෙන්නාට එකතු වෙලා මේක සාකච්ඡා කරන්න බැරිද? මෙතැනදි අගමැති, ජනාධිපති ඉන්නෙ මොනව කරන්නද? අවසානයේදී බලනකොට අරාජකවාදයේ බලපෑම රාජ්‍ය නායකත්වය දක්වාම විහිදිලා.

ජනතාවටත් කිසිම වගකීමක් නැහැ. කට අරින්නේම බනින්න. තමන්ට නොලැබුණ දේ ගැන අතෘප්තිය, වෛරය තමයි ප්‍රකාශ වෙන්නෙ. ඊනියා බුද්ධිමතුන් අතර එය උග්‍රයි. අපි උදාහරණයක් ලෙස ගොවීන් සලකා බලමු. කිසිම ගොවියකු කට ඇරලා කියනවාද තමන්ට මේ අවුරුද්දෙ රජයෙන් හෙක්ටෙයාරයකට රු. 20,000 ගානෙ ගිනුමට මුදල් ලැබුණා කියලා. ඒ වෙනුවට කියන්නෙ වී මිල මදි, පාඩුයි, සහන දියව් කියන එකමයි. සමහරවිට ඉඩම් නොමිලේම දීලා, වතුර හැමදාම නිකම්ම දීලා, පොහොරත් දීලා, උපදෙස් දෙන්න ගොවිජන සේවාවනුත් නඩත්තු කරලා, සල්ලිත් දීලා වවන වී රජය මිලදී ගන්නත් ඕනැ. එහෙමත් තියෙද්දි පාරිභෝගිකයාට ගුණාත්මක කෘෂි නිෂ්පාදන සහන මිලකට වෙළඳපොළෙන් ගන්නත් නැහැ.

අරාජකත්වය පැතිරිච්ච තවත් ප්‍රධාන කර්මාන්තයක් තමයි පොදු ප්‍රවාහනයේ බස් කර්මාන්තය. එය තනිකරම මැරවරයන්ගේ හා හොරුන්ගේ රජදහනක්. ඒ අරාජිකත්වයේ බලපෑම අධිකරණය දක්වාම විහිදිලා. මගීන් සූරාකන අර්ධ සුඛෝපභෝගී බස් සේවා අහෝසි කිරීමට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා. අලුතෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගී ප්‍රවාහන බස්රථ සඳහා බලපත්‍ර ලබාදීමට එරෙහිව ද වාරණ නියෝගයක් පනවලා. ඒ නඩුවලට පෙනී ඉඳින්නෙ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් වගේ බලවත් නීතීඥවරු. බස්වල යන හැමෝම එම සේවාවේ තත්වය දන්නවා. ඒ වුණාට මේ ලිපිය කියවන අය ඇතුළු වැඩිදෙනෙකු නොදන්නවා වෙන්නට පුළුවන්. හේතුව, දැන් මධ්‍යම පන්තිකයන් විශාල පිරිසක් පොදු ප්‍රවාහනයෙන් ඈත් වෙලා.

අරාජකත්වය ඔස්සේ බලය ගොඩනගාගැනීම අරමුණු කරගත් දේශපාලන පක්ෂවලට මෙය රස කෑමක්. ඒ පක්ෂත් අරාජකයි. බස් දාලා සෙනග අදින්නෙ නැතුව රැස්විමක් කරගන්න බැහැ. එක එක නායකයන්ට එක එක අරමුණු. ජනාධිපතිකමට තමන් සුදුසුය කියා හිතන මොළේ අමාරුවක් නැති සියදෙනෙකුවත් ලංකාවේ ඉන්නවා. දාහක්වත් මොළේ අමාරු නැති අය හිතනවා තමන්ට ඊළඟ පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් යන්නට අයිතියක් තියෙනවාය කියලා. තව ලක්ෂයක්වත් පිරිසකගේ ඒකායන අරමුණ කොහොම හරි පාර්ලිමේන්තුවට පත්වෙන එක. මේ නායකයන් හැමෝම වැඩ කරන්නෙ තමන්ගෙ පෞද්ගලික උන්නතිකාමී න්‍යාය පත්‍ර මත. ඔක්කොම රජවරු. රටට මොකක් වුණත් අංක එක තමන්.

ලංකාවේ දේශපාලනය හරියට කොවිඩ් වෛරසය වගේ. හැමෝම උත්සාහ කරන්නෙ ආසාදනය වෙලා තියෙන රාජ්‍යය කාලා තමන් වර්ධනය වෙන්න. ඒක දැන් හරි ලේසියි. මොකද, රාජ්‍යය රෝගීයිනෙ. ඒත්, ඒ නිසාම ආසාදිතයා මිය ගියාම කොවිඩ් වයිරසයට මොකක්ද වෙන්නෙ? පොකුර පිටින් දැවී අවසන් වෙන එක.

-අජිත් පැරකුම් ජයසිංහ-

Social Sharing
අවකාශය නවතම විශේෂාංග