ජනතාවට නොමිලේ නීතිමය උපදෙස් දෙන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නීති සතියක්!

නොමිලේ නීතිමය උපදෙස් ලබාදී මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික නීති සතිය ලබන මස 25 වැනිදා සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

රට තුළ පැවැති අයහපත් වාතාවරණය නිසා පසුගිය වසර කිහිපය තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවත් මෙවර පළාත් නමයේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි ප්‍රාදේශීය නීතිඥ සංගම්වල මෙහෙයවීම යටතේ එම වැඩසටහන රටපුරා තෝරාගත් මධ්‍යස්ථාන කිහිපයක් මුල් කරගෙන පැවැත්වෙන බවද නීතිඥ සංගම් සභාපතිවරයා අනාවරණය කළේය.

එම වැඩසටහන යටතේ ලබන සැප්තැම්බර් 27 සහ 28 යන දෙදින තුළ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය මුල් කරගෙන ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ජනතාවගේ නීතිමය ගැටලුවලට නොමිලේ උපදෙස් ලබාදීම සිදු කරන බවත්, ජනතාවට පවතින ගැටලු ජාතික නීති සතිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අංක 163, කොළඹ 12 යන ලිපිනයට යොමුකළ හැකි බවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා අනාවරණය කළේය. ජනතාවගේ නීතිමය ගැටලු සම්බන්ධයෙන් වාචික උපදෙස් ලබා ගැනීමට අපේක්‍ෂා කරන්නේ නම් 011-3133864 හෝ 011-3133872 යන දුරකථන අංක අමතා ලියාපදිංචි වන ලෙසටද ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. මෙම වැඩසටහන සඳහා අධිකරණය අමාත්‍යාංශය ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල සෘජු දායකත්වය ලබා ගැනීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැඳි මහතා එම මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය. සිවිල් හා අපරාධ නීතිය සම්බන්ධයෙන් පමණක් නොව දීර්ඝකාලීනව බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ ගැටලු නිරාකරණය කරගැනීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබාදීමත්, රාජ්‍ය නිලධාරීන්ට හා පාසල් සිසුන්ට නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද පැවැත්වීමට සැලසුම් කොට ඇතැයිද ජාතික නීති සතිය වැඩසටහන මෙහෙයවන කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

Social Sharing
නවතම පුවත්