සමනල වැවේ විදුලි උත්පාදනය නවතී…

සමනල වැව ජලාශයේ සක්‍රිය ජල ධාරිතාව ඊයේ (15) දිනය වන විටදී සියයට 3.2 ක් දක්වා අඩුවී තිබිණි.

ඒ අනුව, ජලාශයේ විදුලි උත්පාදනය අද (16) සිට නතර කිරීමට නියමිතය. සමනල වැව ජලාශයේ ජලය විදුලිය නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව උඩවලව ජලාශයට මුදා හැරීම නිසා ජලාශයේ සක්‍රිය ජල ධාරිතාව මෙලෙස අඩුවී තිබේ.

ඉකුත් 08 වැනිදා අලුයම 03 සිට සමනල වැව ජලාශයෙන් කියුබික් මීටර් මිලියන 3.5 ක උපරිම ධාරිතාවකින් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම ආරම්භ කෙරුණි. ඉකුත් 11 වැනිදා සිට ඊයේ (15) දක්වා කියුබික් මීටර් මිලියන 2.5 ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයකට ජලය නිකුත් කර විදුලිය උත්පාදනය කරන බවත්, අද (16) සිට ජල විදුලි බලය නිෂ්පාදනය තාවකාලිකව නතර කරන බව විදුලි බල ඇමැති කාංචන විජේසේකර ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඉකුත් සතියේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

උඩවලව ජලාශයේ සක්‍රිය ජල ධාරිතාව සියයට 2.9 ක මට්ටමක පවතින බව ජල පාලන ලේකම් කාර්යාලය සඳහන් කරයි.

-සාලිය කුමාර ගුණසේකර-

Social Sharing
නවතම පුවත්