සංචාරක ක්‍ෂේත්‍රයේ සැලසුම් කිහිපයක් ඇමති හරීන් හෙළි කරයි

රජය හෝ දේශපාලඥයන් වෙනස් වූවත් වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.

ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) අනුව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ එවැනි සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කළ යුතු බවයි.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් පුළුල් අධ්‍යයනයකින් අනතුරුව මෙම ප්‍රතිපත්තිය සකස් කර ඇති බවයි.

එය මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති අතර, එය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළේය.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (අගෝ. 14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට ගොඩනැගීමට ගෙන යන නිවැරැදි ආර්ථික වැඩපිළිවෙළත් සමඟ අද සංචාරක ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇතිවී තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

“රට භාර ගැනීම ප්‍රතික්ෂේප කළ නායකයින් අතර, එම අභියෝගය නොබියව භාරගත් ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම විශාල සතුටක් බව කිව යුතුයි.

රටේ ඩොලර් අර්බුදය විසඳීමේ ප්‍රධාන ප්‍රවේශයක් ලෙස සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය පෙන්වා දිය හැකියි. වසරකට පෙර සංචාරක ක්‍ෂේත්‍රයේ තිබූ තත්ත්වයට සාපේක්ෂව අද ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඇත්තේ නිහතමානී සතුටකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. අපි එය තවත් ප්‍රවර්ධනය කළ යුතුයි.

ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටකි. එහෙත් එහි සුන්දරත්වයේ වටිනාකම කිසිවකුට තවමත් අවබෝධ වී නැත. ඒ වගේම මේ රට සම්පතක්. එය භාවිතා කරන්නේ කෙසේදැයි අපි තවමත් සිතා නැත. අවශ්‍ය ආකල්පමය වෙනසක් ඇති කිරීම ජනාධිපතිතුමාගේ සැලසුමයි.”

ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය වසර 75 තුළ මේ රට පාලනය කළ දේශපාලනඥයන් මේ රට අද පත්ව ඇති තත්ත්වයට වගකිව යුතු බවයි.

“නමුත් අද තනි පුද්ගලයෙක් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා.
ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා සුන්දර ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අපි දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම සංචාරකයන් ප්‍රමාණය තවත් වැඩි කර ගැනීමට නම් සංචාරක ක්ෂේත්‍රයට අදාළ ප්‍රායෝගික ගැටලු රැසක් විසඳිය යුතුයි.”

මෙරට සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානවල පවතින වාහන තදබදය අවම කිරීමේ වැඩපිළිවෙළක් ද ඉදිරියේදී හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය සමග එක්ව සංචාරකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර තිබෙනවා.

“සංචාරකයන්ගේ පහසුව සඳහා ජංගම යෙදුමක් සහ විදේශීය සංචාරකයින් මුහුණ දෙන විවිධ අක්‍රමිකතා වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි,” ඔහු පැවසීය.

සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම මෙතෙක් මුහුණ දී ඇති අභියෝගය බව පෙන්වා දුන් සංචාරක අමාත්‍යවරයා, “ඒ වගේම සංචාරක කර්මාන්තයේ ගුණාත්මක භාවය රැක ගන්නේ කෙසේද යන්නත් ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අභියෝගයයි. ශ්‍රී ලංකාවේ හෝටල් ක්‍ෂේත්‍රයේ සේවකයෝ පළමු සේවා සහතිකය ලබාගත් සැණින් විදේශ රැකියා සඳහා පිටත් වෙති. ඊට පස්සේ ඒකට තව කෙනෙක්ව ගන්නවා. මේ තත්ත්වය මේ රටේ හෝටල් ක්ෂේත්‍රයේ විශාල ප්‍රශ්නයක් ලෙස මම දකිනවා. ඒ වගේම ක්ෂේත්‍රයේ තිබෙන අනෙකුත් ගැටලුත් විසඳීමට අපි කඩිනම් පියවර ගන්නවා.” යැයි පැවසීය.

සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන පිළිබඳ විවෘත කෙටි චිත්‍රපට උළෙලක් පැවැත්වීමට ද තීරණය කර ඇති බව අමාත්‍ය ප්‍රනාන්දු මහතා නිවේදනය කළේය.

“ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ජූරි සභාවක් හරහා හොඳම කෙටි චිත්‍රපට 10 තෝරා ඔවුන්ට මූල්‍ය ත්‍යාග ලබාදීමට මෙන්ම විධිමත් පුහුණුවක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මෙම වැඩසටහන වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා,” ඔහු පැවසීය.

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් හිල්ටන් හෝටල් ජාලයේ අධි සුඛෝපභෝගී හෝටලය අගෝස්තු 19 වැනිදා යාල ප්‍රදේශයේ ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිත බව සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඊට සමගාමීව සංචාරක ප්‍රචාරණ වැඩසටහන් මාලාවක් ද දියත් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

Social Sharing
ආර්ථික නවතම පුවත්