ප්‍රේමකීර්ති හෙවත් නොසිඳෙන ප්‍රේම උල්පත!

1989 ජූලි මාසයේ 31 වැනිදා ද කලු ව යන්නේ එළිය දුන් සඳකට වෙඩි තියා බිම හෙලීම නිසාය. මීට වසර තිස් හතරකට එපිට දවසක දී සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය විය. කිසිවකුටත් අබමල් රේණුවක හෝ වරදක් නොකරමින් සිටි ප්‍රේමකීර්තිගේ ඝාතනයෙන් රිදුණු හදැති ධර්මසිරි ගමගේ මෙසේ සටහන් කර තිබුණේ සහෘදයකු නික්ම යෑම කෙතරම් සිත් සන්තානය රිදවන්නේ ද යන බර රඳවමිනි.

“රුදුරු වෙඩි හඬින් අහසේ පෑයූ අඩ සඳ කැබලි වී ගිය එක් දුක්මුසු රාත්‍රියක ප්‍රේමකීර්තිගේ හද ගැස්ම නතර විණි. එහෙත් අපට තවමත් ඔහුගේ හද ගැස්ම ඇසෙයි…නාඩි වැටෙන හඬ තවම අප සිතට දැනෙයි…ඒ කවියකුගේ ගී පොත කිසිදා මළගමකදී දැවිය නොහැකි බැවිනි”

ප්‍රේමකීර්ති ලියූ කවියක් මෙලෙස පහතින් අලවමි. මට දැනෙන පරිදි මේ ඔහුගේ ජීවිත කතාවය.

෴දාස් පෙති මල්෴

ඔහු බිරිඳගෙන් ඈත්වි ජිවත්වේ.
ඔහුට සිඟිති දියණියක් සිටි
දියණිය සිටින්නී
බිරිඳගේ සෙවණේය.
මසකට වරක් දුව බලන්නට ඔහු
නිවසට යයි.

වරක් ගිය දවසක මිදුලේ වැවී තිබුණු
දාස්පෙති මල් පඳුරෙන්
ඇට මිටක් කඩා
“තාත්ති මේ ටික කොහේ හරි පැළකරන්නැයි”
දියණිය ඔහු අත තැබුවාය.

ඔහු ඒවා කමිස සාක්කුවේ දමාගත්තේය.
ඔහු නතරවී සිටියේ බෝඩිමකය.

ඔහුට එවා හිටවන්නට තැනක් නොතිබුණි.
ඔහු බෝඩිමට විත් ඒවා මේසය මත තැබීය.

***********

ඊලඟ මාසයේ දියණිය බලන්නට නිවසට ගිය විට
“තාත්ති මං අර දුන්න දාස් පෙති ඇටටික පැළවෙලාදැ “යි දියණිය ඇසුවාය.
“අනේ නැ දුවේ …!” ඔහු කීය

එදිනද ඔහු ඇයගෙන් සමුගෙන එන්නට පෙර
ඈ දාස් පෙති මල් පඳුරෙන් ඇට මිටක්
කඩා ඔහු අත තැබුවාය.

ඔහු එවා කමිස සාක්කුවේ දමාගත්තේය.
අනතුරුව බෝඩිමට විත් ඒවා මේසය මත තැබීය.

***********

ඊලඟ මාසයේ දියණිය බලන්නට නිවසට ගිය විට
“තාත්ති මං අර දුන්න දාස් පෙති ඇටටික පැළවෙලාද “යි දියණිය ඇසුවාය.
“අනේ නැ දුවේ …!” ඔහු කීය

එදිනද ඔහු ඇයගෙන් සමුගෙන එන්නට පෙර
ඈ දාස් පෙති මල් පඳුරෙන් ඇට මිටක්
කඩා ඔහු අත තැබුවාය.

ඔහු ඒවා කමිස සාක්කුවේ දමාගත්තේය.

***********

එදා අඳුරු රාත්‍රියකි.
ඔහු ගුරු පාරට ආවේය.
කළුවරේ පිය මැන්නේය.
හිටි අඩියේ පාරට පැනගත් සොරුන්
පිරිසක් ඔහු වටකරගත්හ. ඔහුගේ මුදල් පැහැරගන්නට තැත්කළහ.
බැරිම තැන ඔහු කැ මොර දෙන්නට හදත්ම
එක් සොරෙක් ඔහුගේ ලය පසා
කරගෙන යන්නට පිහිපාරක් ඇන්නේය.
ඔහු මැරි වැටුණි.

බියපත් සොරුන් ඔහුගේ මළකඳ දෙපයින් බිමදිගේ
ඇදගෙන ගොස් අසල වු පාළු කුඹුරක
මඩෙහි ඔබා යට කර දැමීය.

***********

ඊලඟ මාසයේ දියණිය ඔහු එනතුරු මඟ
බලමින් සිටියේය.
එහෙත් ඔහු ආයේ නැත.
ඔහුට කුමක් වී දැයි කිසිවෙක් නොදත්හ.

පාළු කුඹුරක දාස් පෙති මල් දාහක් පිපි තිබුණි.

ප්‍රේමකීර්ති නම් අපූර්ව මිනිසා ඉහත කවි පෙළ ලියනුයේ ඔහු මිය යන්නට වසර 10කට පමණ පෙරාතුව ය. එය ඔහුගේ ‘නොසැලෙන ඉන්ද්‍රඛීලයක් සේ’ නැමති අවසාන කවි එකතුවේ අවසාන කවිය ලෙසින් අපිට මුණගැසෙනු ඇත. සත්‍ය ලෙසම මේ කවිය තුළ ඇඳෙන්නේ ප්‍රේම් ගේ ජීවිතය බව හැඟී යන්නේ මෙම කුහුඹු සිරුරැති මිනිසාගේ පතරංග ජීවිත කතාව නිරීක්ෂණය කිරීමේදීය. අදහා නොගත හැකි සිදුවීම නම් ඔහු සිය මරණය පිළිබඳව කල් ඇතිවම ලියා තැබුවේ කෙසේද යන්නය.

කෙසේහෝ මේ ප්‍රේමණීය මිනිසාගේ ජීවිතය අහෝසි කර අදට වසර 34කි. ප්‍රේම් ගේ හැරයාම සමඟ ඇතිවූ රික්තකය තවමත් එලෙසම පවතියි. අටෝරාසියක් වූ දුක් දොම්නස් මැද ජීවිතේ රස ගුවන් විදුලිය ඔස්සේ දෙසවනට ළඟා කෙරූ ප්‍රේමකීර්ති වැන්නවුන්ගේ අඩුව අද හෙට පිරෙන තැනක් නොවේ. ඉතින් ප්‍රේමණීය ප්‍රේම් හෙවත් නොසිඳෙන ප්‍රේම උල්පතට සසර සැරි සරන තෙක් ප්‍රේම කිරීමට වෙන හේතු කුමකටදැයි සිතේ.

අවසාන වශයෙන් ලක්ශාන්ත අතුකෝරළ ලියු කවියකින් ඔබේ දෑස බොඳ කරන්නට සිතුවෙමි.

දාහක් අති සොඳුරු ගීත
වැදූ කුසකි පිපිරුණේ
දාහක් නව ගීත කළල
පිරුණු ගැබකි කුඩුවුණේ

ඒ පතරොම්
කාගෙ ලාච්චුවෙන් ආවදෝ
අවිය යළිත්
කාගෙ පෙට්ටගමට ගියාදෝ

තාප මනැස් සනසන්නයි
උල්පත ලොව සැදුණේ
වතුරත් ගිනි ගන්න රටක
තවුල්පතකි සිඳුණේ

පෑන අරන් එකම වරක්වත් දිවියේ
ගී පදයක් කුරුටු ගෑව ඇඟිල්ලකින්
එදා කොකා ඇදෙන්න ඇති
ඊට කලින් එකම වරක්වත් දිවියේ
ඔහුගේ ගීයක තාලය අල්ලන්නට
ඒ ඇඟිල්ල සැලෙන්න ඇති

ඔහු ලියු ගී වනපොත් කරනා පරපුර
නටත ඔහේ ඔහු මළ සැටි අමතක කර
බල කාමයෙ ළිඳට වැටුණු
කුහුඹු කලාවේ ඉරණම
දුරවබෝධ සුතුරක් වී
මැකේද දිය බුබුළු අතර

නොදැන කිසිදු අරගලයක
දිවියක ගීතයක ගැඹුර
එ සෝ දිනෙහි මනෙත ළිහූ
කඳුළු හුයේමයි අද වුව
අමුණන්නේ හිල් කර කර
කුරු දුක්බර අකුර අකුර

කවදා හරි දාහක් හිත්
අත් මානෙට ළං වන තෙක්
මගේම පපුවේ ඇන ගෙන
හංඟාගෙන සිටියෙමි මම
මේ උල් කවි අල්පෙනිත්ත

ඇන්නෙමි අද
එයින් ඔබට

ඔබ අඬන්න !

සමුදු බස්නායක

Social Sharing
අවකාශය නවතම විශේෂාංග