පසුගිය අවුරුදු හතර ඇතුළත ලංකාවේ තවත් ලක්ෂ 40ක් දුප්පත් වෙලා!

දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ශ්‍රි ලාංකීය ජනගහනය මිලියන 4 කින් වැඩි වී ඇති බව වාර්තා වෙනවා. මේ බව පවසන්නේ LIRNEasia නම් සංවිධානයක් විසින් සිදු කරන ලද ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි කරන ලද සමීක්ෂණයක්. මහාචාර්ය රොහාන් සමරජීව සභාපතිත්වය දරන මෙම සංවිධානය ජීවා පෙරුමාල්පිල්ලෙයි, ලක්ෂ්මන් බණ්ඩාරනායක, මර්වින් ද සිල්වා සහ විශාඛා නානායක්කාර ඇතුළත් අධ්‍යක්ෂ මණ්ඩලයකින් සමන්විත වෙනවා. ඔවුන්ගේ සමීක්ෂණ වාර්තාව පෙන්නුම් කරන්නේ 2019 දී ශ්‍රී ලාංකිකයින් මිලියන 3ක් දරිද්‍රතාවයෙන් පෙළුනු බවයි. 2023 දී එය මිලියන 7ක් හෙවත් ජනගහනයෙන් 31% බවට පත් වී ඇති බවයි කියන්නේ.

2023 සමීක්ෂණයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අයගෙන් 81% ක් ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වෙනවා. 2019 සිට ග්‍රාමීය දරිද්‍රතාවය 15% සිට 32% දක්වා දෙගුණ වී තිබෙන අතර, නාගරික දරිද්‍රතාවය 6% සිට 18% දක්වා තුන්ගුණයකින් ඉහල ගොස් තියෙනවා. වතු ප්‍රජාවගෙන් අඩකට වඩා වැඩි ප්‍රතිශතයක් දරිද්‍රතාවයේ ජීවත් වෙන බව මෙම වාර්තාව පවසනවා.

පවතින සමාජ ආධාර වැඩසටහන් සමාජයේ දුප්පත්ම ජනතාව වෙත ළඟා වීමට අපොහොසත් වී ඇති බව ද සමීක්ෂණය මගින් හෙළිදරව් වූ බවයි කියන්නේ. දුප්පත් කමින් වැඩිම නිවාස දහයෙන් පංගුවෙන් 31%ක් පමණක් සමෘද්ධිය ලබන අතර ධනවත් කමින් වැඩිම නිවාස දහයෙන් පංගුවෙන් 4%ක් ද සමෘද්ධිය ලබන බව ඔවුන්ගේ සමීක්ෂණ වාර්තාව අනාවරණය කරනවා.

2023 ජුනි මස 7 වැනි බදාදා දින LIRNEasia විසින් මෙම තොරතුරු පළමු වරට අනාවරණය කරනු ලැබුවා.

LIRNEasia ආයතනයේ ගයනි හුරුල්ලේ පවසන්නේ “මෙතරම් කෙටි කාලයක් තුළ තවත් ශ්‍රී ලාංකිකයන් මිලියන 4ක් දරිද්‍රතාවයට ඇදවැටී තිබීම කණගාටුවට කරුණක්. එක් දරුවෙකුගේ අධ්‍යාපනයට අනෙක් දරුවාට වඩා ප්‍රමුඛත්වය දීමට පවුල්වලට සිදුව තියෙනවා. අපට හමු වූ බොහෝ දෙමාපියන් තම දරුවන්ට සමබර ආහාර වේලක් ලබා දීමට ඔවුන්ට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නා. සමාජ ආරක්ෂණ ජාල සඳහා ප්‍රමාණවත් ලෙස වියදම් කිරීමෙන් රට මෙම අභියෝගාත්මක සමයේ දී අවදානමට ලක් වූවන් ආරක්ෂා කළ යුතුයි. සමාජ ආරක්ෂණ ජාල සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම පමණක් නොව, වෙන් කරන අරමුදල් කාර්යක්ෂමව භාවිතා කිරීම ද අවශ්‍යයි” යනුවෙන්.

ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි, නිවාස 10,000 කට වැඩි සාම්පලයක් ඇසුරෙන් සමීක්ෂණය පවත්වන ලද බවයි මෙම පිරිස කියන්නේ. මෙම සමීක්ෂණය 2022 ඔක්තෝබර් සහ 2023 මාර්තු යන කාලය අතර ග්‍රාම නිලධාරී වසම් 400ක් පුරා පවත්වන ලැබූවක්. ජාතික මට්ටමේ ඇස්තමේන්තු 95% විශ්වාසනීයත්වයකින් යුතුව, +/-1.4% දෝෂ පරාසයක් තුළ සිදු විය හැකි බව සඳහන් වෙනවා. දිස්ත්‍රික්ක 13ක් පුරා පුද්ගලයන් 400කට අධික සංඛ්‍යාවක් සමඟ, ප්‍රධාන තොරතුරු සපයන්නන් සමඟ සම්මුඛ සාකච්ඡා, කණ්ඩායම් සාකච්ඡා, තනි පුද්ගල සම්මුඛ සාකච්ඡා සහ නිරීක්ෂණ ආකාරයෙන් ගුණාත්මක පර්යේෂණ සිදු කරන ලද බව එම සමීක්ෂණ කණ්ඩායම පවසනවා. මෙම සමීක්ෂණ කාර්යය සිදුකර ඇත්තේ කැනඩාවේ ඔටාවා හි ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානයේ (International Development Research Centre – IDRC) ප්‍රදානයක් ආධාරයෙන්.

A5news

Social Sharing
ආර්ථික නවතම පුවත්