මාර්ග අනතුරුවලට ලක්වන රියදුරන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය සලකා බලමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
“රියදුරන් බීමතින් පමණක් නොව නීති විරෝධී ද්‍රව්‍ය භාවිත කරන බව ද නිරීක්ෂණය වී තිබෙනවා. නීතිවිරෝධී ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් පරීක්ෂා කිරීමට අවශ්‍ය උපකරණ ගෙන්වා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා,” ඔහු පැවසීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා පැවසුවේ, සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් නීතිවිරෝධී ද්‍රව්‍ය භාවිත කළ බවට පොලිසිය තහවුරු කරන බවයි.
බීමත්ව රිය පැදවීම පරීක්ෂා කිරීමේ උපකරණ සමඟ නීතිවිරෝධී ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම පරීක්ෂා කිරීමට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට ද කටයුතු කරන බව සඳහන් කළ ඒ මහතා ඊට අදාළ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කරන බවද පැවසීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව අනාවරණය කළේ 2023 වසරේ ජූලි 15 වැනිදා වන විට බස් රථ අනතුරු 137ක් වාර්තා වී ඇති අතර ජූලි 10 වැනිදා වන විට රිය අනතුරු 1135ක් සහ රිය අනතුරු හේතුවෙන් මරණ 1202ක් වාර්තා වී ඇති බවයි.
රිය අනතුරු අතරින් 2088 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර 4450 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
Newswire.lk ඇසුරින්.