ගණිකාව ස්ත්‍රිය සහ ආගම….!

-Malcolm Sang-

පහුගිය දවස්වල ප්‍රංශයේ දකුණු භාගයේ සංචාරය කරද්දි පහු කරපු කුඩා නගරයක් තමයි ඒක්ස් අන් ප්‍රවොන්ස් ( Aix en Provence) කියන නගරය. මේ කුඩා නගරය මැද්දෙ ප්‍රංශයේ විතරක් නෙවේ ලෝකය පුරාම ප්‍රසිද්ධ වුනු දේවස්ථානයක් නැතිනම් පල්ලියක් තියනව මාරි මග්දලේනා නමට කැපවුණු. මෙන්න මේ දේවස්ථානය තුළ තමයි මාරි මග්දලේනාගේ හිස් කබල හා ඇටකටු කොටස් දකින්න ලැබෙන්නෙ.

කවුද මේ මරියා මග්දලේනා..?

“නුඹලා අතරින් පව් නොකරපු කෙනා පළමු ගල මේ කාන්තාවට ගැසිය යුතුයි.” මේ වාක්‍ය බොහොම ප්‍රසිද්ධයි.

අපි දන්න කතාන්දරය තමයි ජේසුස් ක්‍රිස්තුස් ජීවත් වූ කාලයේදී මාරි මග්දලේනා නම් රූමත් තරුණියක් ගණිකා සේවයේ යෙදුනු බවත්, ඒ කාන්තාව කණුවක ගැට ගහල ප්‍රසිද්ධියේ ගල් ගහල මරා දාන්න තීරණය වූ බවත්.

“නුඹලා අතරින් පව් නොකරපු කෙනා පළමු ගල මේ කාන්තාවට ගැසිය යුතුයි.” වාක්‍ය කියමින් ජේසුස් විසින් කාන්තාව බේරාගත් බවට සටහන් වෙන සිද්ධිය බොහෝ දෙනෙක් අහල ඇතුවට සැක නැහැ. පසු කාලීනව ප්‍රසිද්ධ වෙන්නෙ මේ මරියා මග්දලේනා නම් තරුණිය ජේසුස්ගෙ පෙම්වතිය හෝ බිරිඳ බවට පත්වූ බවයි.

ඩෑන් බ්‍රවුන්ගෙ ඩාවින්සි කෝඩ් නවකතාවෙ කියන්නෙ මාරි මග්දලේනා ජේසුස්ගෙ පෙම්වතිය බව, ජේසුස්ගේ මරණයෙන් හා උත්ථාන වීමෙන් පස්සෙ මේ තරුණිය ප්‍රංශයට ආපු බවත්, ඉන් පස්සෙ සාරා නමින් දියණියක් බිහි කරපු බවත් කියවෙනවා. ඩෑන් බ්‍රවුන්ගෙ කතන්දරේ කියන විදිහට මාරි ප්‍රංශයට ගොඩ බහිද්දි ගැබිනියක්.

අපිට අහන්න පුළුවන් ප්‍රශ්ණ කීපයක්ම තියනවා. ගල් ගසා මරන්නට නියම වූ තරුණිය මරිය මග්දලේනා බව බයිබලයේ හෝ වෙනත් ලේඛනයක සටහන් වෙනවද.? මාරි මග්දලේනා හෝ ගල් ගසා මරන්නට නියම වූ තරුණිය ගණිකාවක් බව කොතැනක හෝ සඳහන් වෙනවද.? මේව හරි ලස්සන කතන්දර.

කුරාණයේ සඳහන් වෙනවද කාන්තාවන් බුර්කා ඇඳිය යුතුයි කියල.? කුමන ලේඛණයකද… සූත්‍රයකද සඳහන් වෙන්නෙ සිද්ධාර්ථ මහ රෑ තමන්ගෙ දරුවයි බිරිඳයි තනි කරල මාළිගාවෙන් පිටවූ බවට..?

නමුත් ආගම් විකෘත්ති කරල සමාජය රවට්ටන සමාජයක මේ ගැන කවුරුත් ප්‍රශ්ණ කරන්න සූදානම් නැත්තෙ නීතිය දේශපාලනයෙන් හා ආගමෙන් වැහිල තියන නිසයි.

විවාහක සැමියා සිටියදී වෙනත් පුරුශයෙකු හා ලිංගිකව හැසිරීමේ වරද “ඇඩල්ටරි” (Adultary ) විදිහට ජේසුස් ජීවත් වූ යුදෙව් සමාජයේ සැලකෙනව.

මේ වරදට වැරදිකාරියක වූ කාන්තාවකට ගල් ගසා දඬුවම් කිරීමේ සිද්ධියක් ගැන බයිබලයේ හෙවත් ගොස්පල් වල සටහන් කරන්නෙ ජෝන් විසින්. John 8:7, viz. “He that is without sin among you, let him first cast a stone at her.”(John 7:53-8:11).

පළමු කාරණය මේ කාන්තාවගෙ නම කොයිම තැනකවත් සඳහන් නෑ මාරි මග්දලේනා විදිහට. දෙවැනි කාරණය සැමියා හැර වෙන පිරිමියෙකු හා ලිංගික සමබන්ධතාවක් පැවැත්වූවත් මේ කාන්තාව ගණිකාවක් නෙවෙයි.

ජේසුස්ගේ මව වන මාරියා හැරුණු කොට තවත් මාරි හෙවත් මේරි නැමැති කාන්තාවන් දෙදෙනෙක් ගැන ගොස්පල් තුල සටහන් වෙනවා. එක්කෙනෙක් තමයි ලාසරස්ගේ සොයුරිය වන මේරි. අනිත් කෙනා තමයි ජේසුස්ගේ දේශනා අගය කළ එතුමාගේ ගෝලයෙක් බවට පත්වූ මාරි මග්දලේනා.

නමුත් මේ කියන ජේසුස් උපදින සමාජය ගෞතම සිද්ධාර්ථ ඉපදුනු සමාජය වගේම පුරුෂ මූලික සමාජයක්. ඒ නිසාම ස්වාධීන කාන්තාවක් වූ ජේසුස්ගේ දේශනා අහලා ජේසුස්ගේ ගෝලයෙක් බවට පත්වූ මාරි මග්දලේනා අපෝස්තුළුවරු දොලොස්දෙනා හා සම තත්ත්වයේ සලකන්නෙ නෑ. තෝමස් .. සයිමන්.. ජේම්ස්.. බර්තොලමි.. වැනි චරිතවලට වඩා මාරි මග්දලේනාගේ නම සඳහන් වෙනව ගොස්පල් තුළ. ඒ කියන්නෙ මේ කාන්තාව පීටර් හෙවත් සාන්ත පීතර තරම්ම ඉතාම වැදගත් චරිතයක් ජේසු නැමැති දේශකයාගේ කිට්ටුම මිත්‍ර කණ්ඩායම තුළ.

ජේසුස් කුරුසියේ ඇණ ගැසීමට රැගෙන යන අවස්ථාවේ මෙන්ම මරණයෙන් නැගිට්ටා යැයි කියන අවස්ථාවෙත් මාරි මග්දලේන් ගැන සඳහන් වෙනවා. අභව්‍ය සිද්ධීන් හා ආශ්චර්‍යයන් මදකට අමතක කලොත් ජේසුස් නැමැති දේශකයා කුරුසියේ ඇණ ගහපු ස්ථානයේ වගේම, ගල් ගුහාවක තැන්පත් කරන ස්ථානයෙත්, ඒ වගේම මිය නොගිය බව තහවුරු කෙරෙන ස්ථානයේත් මේ කාන්තාව ඉන්නවා.

ජේසුස්ගේ මරණයෙන් උත්ථාන වීම ගැන සාක්ශි දරණ මාරි ඉතාම විශේෂ චරිතයක්. මැග්දලා කියන්නෙ ගලීලි මුහුද අයිනෙ තියන කුඩා ධීවර ගම්මානයක්. මැග්දලාහි මේරි.. මේරි මැග්දලේන් විදිහට හඳුන්වනවා. ලූක් සඳහන් කරන ආකාරයට මාරි මග්දලේනා ( ලූක් 8:1- 3 ) තමන්ගේම මුදලින් ජේසුස්ට උදව් උපකාර කරනවා.. එහෙමත් නැතිනම් පහසුකම් සලසනවා. අමතක කරන්න බැහැ ගොස්පල් ලියවෙන්නෙ මැතිව් .. මාක්… ලූක් සහ ජෝන් කියන පිරිමි ලේඛකයන් හතර දෙනෙක් මගින් බව.

මධ්‍යතන යුගයේ හෙවත් අඳුරු යුගයේ ‍යුරෝපය තුළ මාරි මග්දලේනා වරද කරපු ස්ත්‍රියක් ලෙස හංවඩු ගැහෙනවා. රෝම වතිකානු බලය හරහා මරී මග්දලේනා ජේසුස්ගෙ කරුණාවට පාත්‍රවූ රූමත් … අසරණ ගණිකාවක් බවට ලෝකය පුරාම ප්‍රචාරය වෙනවා. මේක බොහොම අසාධාරණ කතාවක්.

නමුත් මේ අසාධාරණ ඉතිහාසයට අභියෝග කරන සාක්ශි හමුවෙන්නෙ 1896 වර්ෂයේදී ඊජිප්තුවේ කයිරෝ නගරයෙන්. ඒ තමයි තුන්වන හා හතරවන සියවස් වලට අයත් පැපිරස් ලේඛනයක්. මේ ලේඛණ වල සත්‍ය තත්ත්වය හා ඉතිහාසය ගැන පසු කාලීනව කාබන් පරීක්ශණ මගින් තහවුරු වෙනවා. මේ ලේඛණය හඳුනාගන්නව මේරි ගොස්පල් විදිහට. තව විදිහකට කීවොත් ලූක්.. ජෝන්… මැතිව් හා මාක් වගේම මේරිත් ඇතුලත් විය යුතුයි මේරි ගොස්පල් හරහා බයිබලයට.

මේ පැපිරස් ලේඛනවල සඳහන් වෙනව ජේසුස්ගේ මරණය ගැන කණගාටු වෙන අපෝස්තුළුවරු හෙවත් ගෝලයන්ව අස්වසන්න මේරි කතා කරන ආකාරය. නමුත් පුරුෂ මූලික ආගමික සමාජය මේ කරුණු කාරණා බයිබලයට ඇතුලත් කරන්නෙ නෑ.

1896 අවුරුද්දේ හමුවෙන බර්ලින් කෝඩෙක්ස් (Berlin Codex) නමින් හැඳින්වෙන මේ පපිරස් පත්‍ර ජර්මානු රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙක් හා ඉතිහාසඥයෙක් වූ කාල් රෙයින්හාට් ( Carl Reinhardt) විසින් මිළට අරගෙන සුරක්ශිත කරනවා. නමුත් වතිකානුව තවමත් ඉදිරිපත් වෙන්නෙ නෑ මාරි මග්දලේනාට වූ අසාධාරණය නිවැරදි කරන්න.

ඒ කතාව හරියට අවුරුදු දාස් ගාණක් තිස්සෙ සර්ප හිස් සහිත කෙස් කලාපයක් එක්ක ප්‍රථික්ශේප කරපු මෙදූසාගේ කතන්දරයට සමානයි. සාන්ත පීතරගෙ ස්ථානය මරිය මග්දලේනාට දෙන්න ආගමික මතධාරීන් කිසිම විටෙක සූදානම් නැහැ.

මාරි මග්දලේනා කියන්නෙ ගණිකාවක් නෙවෙයි. ඇය ජේසුස්ගෙ ප්‍රධාන ශ්‍රාවිකාවක්. ගෝලයෙක් වගේම මිතුරියක්. එයා ජේසුස්ගෙ බිරිඳ ද පෙම්වතිය ද කියන කාරණය අපිට අදාල නෑ. ඒ බව සඳහන් කරන්නෙ ඩෑන් බ්‍රවුන්.

ඇයි ආගම් අදහන පිරිස් තමන්ගෙ ශාස්තෘවරයාගේ ලිංගික ජීවිතය ගැන දැනගැනීම ප්‍රථික්ශේප කරන්නෙ.? ජේසුස්ට පෙම්වතියක් සිටියා කියන කාරණය වගේම ගෞතම සිද්ධාර්ථ කුමාරයාට අන්තපුරයක් තිබුනා කියන කතාවත් දැඩි ආගමිකයන් ප්‍රථික්ශේප කරනවා. මේ සංසිද්ධිය හරියට තමන්ගෙ දෙමව්පියන්ගෙ ලිංගික ජීවිතය දරුවන් විසින් ප්‍රථික්ශේප කිරීම හා සමානයි.

ග්‍රීක සංස්කෘතියේ එන මෙදූසාත් මාරි මග්දලේනා වගේම ඉතිහාසය පුරාම අසාධාරණයට ලක්වූ චරිතයක්. බෞද්ධ සංස්කෘතියෙත් මේ වගේ චරිතයක් අපිට හමුවෙනවා. ඒ තමයි අම්බපාලී.

ලිච්ඡවි රජදරුවන්ගෙ රාජ්‍යයේ ජීවත් වූ රූමත් අම්බපාලි නගරයේ හිටපු සුන්දරම කාන්තාව වගේම රජවරුන්ට සිටුවරුන්ට ලිංගික තෘප්තිය ලබාදුන් බුද්ධිමත් කාන්තාවක්. අපි මේ කතා කරන්නෙ නීති රීති බොහෝම තද ජීවත් වෙන්න අපහසු බමුණු සමාජය ගැන. අඹ උයනක ජීවත් වූ අම්බපාලි බමුණු නීති රීති මැද ජීවත් වෙන්නෙ කොයි වගේ පීඩනයකින්ද…? මේ කාන්තාව කොයි තරම් ශක්තිමත්ද කියල අපි තේරුම් ගන්න උත්සාහ කළ යුතුයි.

අම්බපාලි ගණිකාවක බව බෞද්ධ පොතපතේ කියනවා. නමුත් අම්බපාලිගෙ පහස විඳින්න ගිය රජවරු.. සිටුවරු .. කුමාරවරු… ශාඛ්‍ය වංශිකයන් හැමදෙනාම යහපත් මිනිසුන්…!!

විමල කොන්ඩන්ජ හරහා බුදුන් වහන්සේ හඳුනා ගන්නා අම්බපාලි බන දහම් අහල බොහොම පැහැදෙනවා. පැහැදෙනව විතරක් නෙවෙයි ඉතා ඉක්මනින් රහත් බව ලබා ගන්නෙ සෘදි බල ඇති තෙරණියක් විදිහට. නමුත් අවුරුදු දෙදාස් පන්සීයකට පස්සෙත් අම්බපාලිට නියමිත තැන බෞද්ධ සමාජයේ ලැබෙනවද..?
අම්බපාලි කියපු ගමන් මතක් වෙන්නෙ ගණිකාවක්.

ජීවිත කාලයක් පුරා බුදුන් අසල ගැවසුනු විශාඛාව බෞද්ධ සංස්කෘතිය තුල මහා ඉහලින් වර්ණනා කලත් ඒ කාන්තාව සෝවාන් ඵල ලබපු සිටු දේවියක් පමණයි.
ධනය කුලය හා ප්‍රසිද්ධිය සමග සිටු දේවියක් වූ පමණින් බෞද්ධ සංස්කෘතියේ විශාකාට ලැබෙන තැන ඇයි රහත් ඵලයට පැමිණුනු අම්බපාලිට නොලැබෙන්නෙ.?

මහාමායා විශාඛා හා යශෝධරා නමින් පාසැල් රෝහල් සමිති සමාජ බිහිවෙද්දි අම්බපාලි නමින් බස් නැවතුමක් හෝ නම් කරන්න කවුරුත් සූදානම් නෑ. සාන්ත පීතර… සාන්ත ජෝශප්.. සාන්ත මරියා… සාන්ත පාවුළු නමින් ලෝකය පුරා පාසැල්.. රෝහල්… සමාජ ගොඩනැගුනත් මරිය මග්දලේනා කියපු ගමන් ගණිකාව කියන්න අපි පුරුදු වෙලා ඉන්නවා.මේ විෂය ගැන මීට වඩා පුළුල්ව කතා කල යුතුයි.

රෝම හා ප්‍රංශ පුරාවෘත්ත තුළ සඳහන් වෙන්නෙ ජේසුස්ගෙ මරණයෙන් ( හෝ උත්ථාන වීමෙන්) පස්සෙ මාරි මග්දලේන් තමන්ගෙ මිත්‍රයන්ගේ උදව් ඇතිව ප්‍රංශයේ දකුණු දිගට නාවික යාත්‍රා හෙවත් බෝට්ටු මගින් සම්ප්‍රාප්ත වූ බව. මේ ප්‍රදේශයේ කුඩා ගම්මාන රාශියක මේ සම්බන්ධ විවිධ ජන කතා පුරාවෘත්ත වගේම යම් ආකාරයක නටඹුන් දකින්න පුළුවන්. 1279 වර්ශයේදී මාරි මග්දලේනාගේ යැයි විශ්වාස කෙරෙන ඇටකටු සොයා ගනු ලබන්නේ, අදත් මේ හිස් කබල හා ඇටකටු ප්‍රදර්ශණය කෙරෙන දේවස්ථානයේ බිම් මහලේදීයි.

මේ ස්ථානය වතිකානුවේ වගේම ලොව පුරා පිළිගත් ප්‍රසිද්ධ ස්ථානයක්. මේරි මග්දලේන් ප්‍රංශයට ළඟාවූ ආකාරය, උදව් කරපු චරිත, ආගිය ස්ථාන ගැන බොහොම කතන්දර පුරාවෘත්ත ප්‍රංශ ගම්මාන තුළ තියනවා. නමුත් ඒව කතන්දර විතරයි. වඩා වැදගත් වෙන්නෙ මේ කතන්දර ද නැතිනම් ජේසුස් නැමැති දාර්ශණිකයාගේ උගැන්වීම්ද.?

නමුත් ඇත්තෙන්ම කීවොත් රනින් ආවරණය කර ඇති මේ ඇටකටු බැලීමට තරම් ප්‍රිය උපදවන්නෙ නැහැ. නමුත් අපි ජීවත් වෙන්නෙ ධර්මය හා යුක්තියට වඩා ඇටකටු වන්දනාවට මුල්තැන දෙන ලෝකයක.

බුදුන් වහන්සේට සිද්ධ වෙනව කාන්තාවන්ට නිදහස දීම උදෙසා බමුණු සමාජය හා සටන් කරන්න. ජේසුස් ක්‍රිස්තුන්ට සිදු වෙනව ගල් ගහල මරාදාන්න නියමිත කාන්තාවක් මරණයෙන් බේරා ගන්න සටන් කරන්න. නමුත් අවුරුදු දෙදාහකට අධික කාලයකට පස්සෙත් කාන්තාවන් කියන්නෙ බොහෝ සමාජවල දෙවනි පන්තියේ පුරවැසියන් විතරයි.

අම්බපාලි හා මාරි මග්දලේනා කියන්නෙ ගණිකාවන් පමණයි. අහසින් වඩින කතන්දර, පොළව දෙබෑකරගෙන එන ආශ්චර්‍ය එලි දිලිසෙන එලිමතුවෙන දිව්‍යලෝක පොඩ්ඩක් පැත්තකින් තියල ජේසුස් හා ගෞතම සිද්ධාර්ථ දේශනා කරපු කරුණු පොඩ්ඩක් සැලකිල්ලට ගත්තොත් අනුගාමිකයන් කොයි තරම් මෝඩද බොළඳ ද කියල හිතා ගන්න අමාරු නැහැ.

නමුත් මේ අනුගාමිකයන්ගේ විකාර ලෝකය බුද්ධිමතුන්ගේ අදහස් හා දේශනාවලට වඩා බොහොම බලවත්. මෙවැනි ලිපි හරහා ආගම් විවේචනය කෙරෙන්නෙ නෑ කොයිම විටකවත්. නමුත් ආගම් උපයෝගී කරගෙන බොරු කතන්දර ගොතන භික්ෂූන්, පූජකයන්, දේශපාලකයන්, නීති විශාරදයන් හා විකාරරූපී සමාජය සෘජුවම ප්‍රශ්ණ කරනවා. මේ ප්‍රශ්න කිරීම එදත් තිබුනා… අදත් තියෙනවා. හෙටත් තියේවි. ඒ ප්‍රශ්න කරන විචාර කරන මිනිස්සු කූඩුවලට ගාල් කරල ප්‍රශ්න කිරීම නවත්තන්න හිතනව නම් ඒක විහිළුවක් විතරයි.

ආගම් තියෙන්නෙ මග පෙන්වන්න මිස මිනිස්සුන්ව කූඩු කරල එක් පිරිසකට රජ වෙන්න පාර හදන්නවත් … පුරුෂායා බලවත් කියල පෙන්නන්න්වත් … බුද්ධිමත් ස්ත්‍රිය පහත් කරන්නවත් නෙවෙයි. ආගම් හෝ ඉගැන්වීම් හැමෝටම පොදු ප්‍රශ්ණ කළ යුතු විචාරශීලීව විවේචනය කළ යුතු පොදු විෂයක් බව අවසානයේ ලියා තබමි.

 

Social Sharing
අවකාශය නවතම