රාජ්‍ය භාෂාව, යුක්තිය පිටුදැකීම සහ ශිෂ්ටත්වය

Closing the 'eyes' of the Bandaranaike statue-කරු පරණවිතාන-

හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණිය සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය කළ ප්‍රකාශයක්ද සම්බන්ධ කරගනිමින් මේ දිනවල සමාජ මාධ්‍යයේ දිග හැරී ඇති සංවාදයක මතු වී ඇති එක් අදහසක් වන්නේ බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නැමැති 1956 දී සිදුකරන ලද “මහා දේශපාලන වරද” නිසා අපට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට තිබූ අවස්ථාව මග ඇරුණ බව සහ ඉංග්‍රීසිය ඔස්සේ ලබා ගත හැකිව තිබූ ‘බටහිර සංස්කෘතික ශිෂ්ටත්වය’ ජාතියක් ලෙස අපට අහිමි වූ බවය. මෙය අලුත් අදහසක් නොවේ. සිංහලය රාජ්‍ය භාෂාව වූ දිනයේ සිට විට්න් විට ඉස්මත්තට එන හෝද හෝදා මඩේ දමන කිසිම ඓතිහාසික පදනමක් නැති මතිභ්‍රමයකි. මේ ලිපිය ලියන්නේ ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රශ්නයේ ඓතිහාසික පදනම ගැන යම් අදහසක් ඉදිරිපත් කිරීමටය.

බණ්ඩාරනායක මහතා අතින් සිදු වූ මහා දේශපාලන වරද නම් සිංහලය රාජ්‍ය භාෂාව නොකර සිටීම නොව ඒ සමගම දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් නොකර සිටීමය. එමගින් මේ රාජ්‍යය සාධාරණය හා යුක්තිය ගරු නොකරන රාජ්‍යයක් බව ආරම්භයේදීම මුලු ලෝකයටම පෙන්වා දීමය.

රාජ්‍ය භාෂා ප්‍රශ්නය දෙස අප බැලිය යුත්තේ දහනමවන සියවස අගභාගයේ පමණ සිට මතු වූ භාෂානුරාගී ජාතිකවාදී ව්‍යාපාරය විසින් මතුකරන ලද දේශපාලන කොන්දේසිද සැළකිල්ලට ගනිමින් මිස හුදෙක් 1956 දී කඩා පාත්වූ හෙනගෙඩියක් ලෙස නොවේ. (මේ භාෂානුරාගී ව්‍යාපාරය පිළිබඳ සෑහෙන ඓතිහාසික දැණුමක් මේ වන විට කේ.එන්. ඕ ධර්මදාස, නිර්මාල් රන්ජිත් දේවසිරි හා සඳගෝමී කෝපරහේවා වැනි වියතුන් විසින් තම පර්යේෂණ මගින් සම්පාදනය කර ඇත. ඒ්වා හැදෑරීම මේ සංවාදයට ප්‍රයෝජනවත්ය).

යටත් විජිත වශයෙන් පැවැති රටවල් නිදහස ලබා ගනිද්දී ඒ රටවල රාජ්‍ය භාෂාව විය යුත්තේ කුමක්ද යන්න අප රටේ පමණක් මතු වූ ගැටලුවක් නොවේ. අසල්වැසි ඉන්දියාවේද මේ ප්‍රශ්නය මතු වූ ආකාරය ඉතිහාසඥ රාමචන්‍ද්‍ර ගුහා සිය ‘India after Gandhi, The History of the World’s Largest Democracy නම් කෘතියේ මැනවින් පෙන්වා දී ඇත (117-120 පිටු).

අප රටේ මේ සාකච්ඡාව මතුවූයේ නිදහසට පෙර ඩොනමෝර් ආණ්ඩුක්‍රම යුගයේදී මය. එකල මතු වී තිබූ ස්වභාෂා ව්‍යාපාරය එයට හේතුවිය. අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය කුමක් විය යුතුද යන ප්‍රශ්නය වටා මතු වූ මේ ප්‍රශ්නය ඩොනමෝර් යුගය අවසාන වනවිට ලංකාවේ අධ්‍යාපනය ඇතුලු රජයේ සියලු කටයුතු කරගෙන යා යුත්තේ කවර භාෂාවෙන්ද යන සාකච්ඡාව දක්වා විකාශනය වී තිබිණි.

මේ සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්තියක් සකසා ගැනීමට, ජී.කේ. ඩබි.පෙරේරා (මාතර මන්ත්‍රී ), අධ්‍යාපන ඇමති සි. ඩබි.ඩබි. කන්නන්ගර, ජේ ආර් ජයවර්ධන, වී. එස් නල්ලයියා, පිලිප් ගුණවර්ධන යනාදී විවිධ දේශපාලන හා ජනවාර්ගික ධාරාවන්ට අයත් දේශපාලන නායකයන් මැදහත් වී කටයුතු කළ අතර 1948 වන විට සියලු දෙනාම පිළිගත් පොදු ප්‍රතිපත්තිය වූයේ සිංහල-දෙමළ භාෂා දෙකටම සමතැන දිය යුතුය යන ප්‍රතිපත්ති යයි. 1951 බිහි වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද එම ප්‍රතිපත්තිය වෙනස් කළේ නැත.

අවාසනාවකට මෙන් 1947 ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරද්දී ව්‍යවස්ථාවට ඇතුළත්විය යුතුව තිබූ වැදගත් අංගයක් වන රාජ්‍ය භාෂාව යන්න ව්‍යවස්ථාවට ඇතුළත් නොකිරීමට ඩි.එස් සේනානායක මහතා ඇතුලු නායකයෝ කටයුතු කළහ. එයට හේතුව ලෙස සාමාන්‍යයෙන් කියවෙන්නේ පොදු නීතිය ඔස්සේ සාමාන්‍ය පනතක් මගින් රාජ්‍ය භාෂාව පිළිබඳ ඒ වන විටත් පිළිගෙන තිබූ සිංහල- දෙමළ දෙභාෂාවටම සමතැන් දීමේ ප්‍රතිපත්තිය බලගැන්වීමට එජාප නායකයින් බලාපොරොත්තුව සිටි බවයි.

1951 දී එ.ජා.ප.රජය විසින් ජාතික භාෂා කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවේ 1944 සිට රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබූ සිංහල දෙමළ දෙබසටම රජයේ කටයුතුවලදී සමතැන් දීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රමවේද හඳුනාගෙන නිර්දේශ කිරීමටය.

මේ වන විට සිංහල භාෂානුරාගී ව්‍යාපාරය සාමාන්‍ය භාෂා ජාතික ව්‍යාපාරයක සිට භාෂා ස්වෝත්තමවාදී ව්‍යාපාරයක් බවට පත්වෙමින් තිබිණි. දෙමළ නැතිව ‘සිංහලය පමණක්’ රාජ්‍ය භාෂාව විය යුතු යැයි මේ භාෂා ව්‍යාපාරයේ නිමග්නවී සිටි පිරිස මහ හඬින් ප්‍රකාශ කළහ. එහෙත් බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් 1951 පිහිටවන ලද ශ්‍රි.ල.නි.ප ය මේ ආරම්භයේදී මේ අදහස දැරුවේ නැත.

නමුත් රජය පත් කළ ජාතික භාෂා කොමිසම 1953 දී එහි අවසාන වාර්තාව ඉදිරිපත් කරද්දී එහි සභාපතිවරයා වූ විනිසුරු ආතර් ව්ජේවර්ධන මහතා ඉදිරිපත් කළ පුද්ගලික මතයක් නිසා එතෙක් රටේ පිළිගත් භාෂා සමතැන් ප්‍රතිපත්තියට මරු පහරක් එල්ලවිය. ආතර් විජේවර්ධන මහතාගේ මතය වූයේ භාෂා දෙකක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රායෝගික නොවන බවත් එක් භාෂාවක් පමණක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රායෝගික බවත්ය. ඒ එක් භාෂාව ලෙස ඔහු අදහස් කළේ සිංහලයයි.

භාෂා ස්වෝත්තමවාදීන්ට මේ අදහස පණින රිලවුන්ට ඉනිමං බැඳීමක් වැනි විය. ඉන්පසු 1954 සිට ඇති වූයේ ‘සිංහල පමණක්’ ඝෝෂාවය. ශ්‍රී.ල.නි.ප. කරනමක් ගසා සිංහල පමණක් ප්‍රතිපත්තිය වැළදගති. එ.ජා.පයේ නායක කොතලාවල මහතාද “පැය විසි හතරෙන්” සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තියට පැන්නේය. 1955 දීත් භාෂා සමතැන් ප්‍රතිපත්තියේ සිටි සම සමාජ පක්ෂයද සිංහල පමණක් ප්‍රතිපත්තිය පිළිගෙන සිටි බණ්ඩාරනායක මහතා නායකත්වය දුන් දේශපාලන සන්ධානය සමග නිතරග මැතිවරණ ගිවිසුමකට එළඹිණි.1956 දී බණ්ඩාරනායක නොව කොතලාවල ජයගත්තද සිංහලය පමණක් රාජ්‍ය භාෂාව වීමට ඉඩ තිබිණි

රටට නායකයන් අවශ්‍ය වන්නේ ජනප්‍රිය රැල්ලේ පීනිමට නොවේ. ජනප්‍රිය රැළි මතින් පාවී එන දේශපාලන අගතීන් කල්තබා හඳුනාගනිමින් ඒවා පිටුදැකීමටද දේශපාලන නායකයින් සමත් විය යුතුය. අලුතින් නිදහස ලබනා රටේ රාජ්‍ය භාෂාව ස්වදේශික ජනයා වහරන භාෂාව බවට පත් කළ යුතු යැයි යන ඉල්ලිීම ජනප්‍රිය ඉල්ලීමක් මෙන්ම නිවැරදි ඉල්ලීමකි. එය පිළිගැනීමද දේශපාලන වශයෙන් නිවැරදිය. සිංහල ජනයා ජිවත් වන එකම රටේ බහුතර ජනයා වන ඔවුන්ගේ භාෂාව රාජ්‍ය භාෂාව කිරීම කවර වරදක්ද.?

එහෙත් දෙමළ බසට තැන නොදීම එම ජනප්‍රිය රැල්ලේ පාවී ආ දේශපාලන අගතියකි. බණ්ඩාරනායක මහතා එම අගතියේ අවාසනාවන්ත ගොදුරක් විය. දෙමළ බස කතා කරන ජනයා ලොව රාජ්‍ය ගණනාවක සිටින නමුත් ඒ මනරම් භාෂාවටද ගෞරවාන්විතව රාජ්‍ය භාෂා තත්වය ලබා දුන් එකම රට බවට 1956 දීම අපට හැකි වූයේ නම් එය කෙතරම් අසිරියක්ද ?

ඒ අසිරිය 1956 දී සිදුනොවිණි. ඒ වන විටත් පිළිගෙන තිබූ පොදු ප්‍රතිපත්තියක් කඩා බිඳ දමා ස්වොත්තමවාදී ප්‍රතිපත්තියකට යටවීමට තරම් දේශපාල අධිෂ්ඨානය දියාරු කරගැනීම බණ්ඩාරනායක මහතා කෙරෙන් පෙන්නුම් කළ දුබලතාවයි. ජාතික භාෂා ගණනාවක් ඇති රටක රාජ්‍ය භාෂා ප්‍රශ්නය විසඳා ගන්නවාට වඩා පහසුවෙන් ජාතික භෂා දෙකක් වහරන රටක රාජ්‍ය භාෂා ප්‍රශ්නය විසඳා ගත හැකිය. ඒ දෙබසටම රාජ්‍ය භාෂා තත්ත්වය ලබාදීමෙනි. එය භාෂා කළමනාකරණ විෂයයහිද පිළිගැනෙන මූලධර්මයකි. විශාල වන්දියක් ගෙවීමෙන් පසුව වුව දෙමළ බස රාජ්‍ය භාෂාව කිරීමෙන් මේ රාජ්‍යයට අමුතු හානියක් අවැඩක් සිදු වී නැති බව අපි අද අත්දැකීමෙන් දනිමු. අප සාමාන්‍යයෙන් ශක්තිය හමුවේ යුක්තිය අමතක කිරීම පුරුද්දක් ලෙස කරන්නේදැයි ප්‍රශ්න කිරීම වටී.

Social Sharing
නවතම විශේෂාංග