අස්වැසුමෙන් දිළින්දන්ට සහන හිමි වේද?

-අජිත් පැරකුම් ජයසිංහ-

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා නම්, සමෘද්ධි, වැඩිහිටි ආධාර, වකුගඩු රෝග වැඩසටහන, ආබාධිත ආධාර වැඩසටහන සහ මහජන ආධාර වේ.

කලාපීය චින්තන පර්ෂදයක් වන LIRNE asia විසින් මෑතකදී කරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයකින් පෙන්නුම් කළ පරිදි, රටේ ජනගහනයෙන් දුප්පත්ම දහයෙන් පංගුවෙන් 31%ක් පමණක් සමෘද්ධිය ලබන අතර විස්මයට කරුණ වන්නේ ධනවත්ම දහයෙන් පංගුවෙන් 4%ක් ද සමෘද්ධි සහනාධාර ලැබීමයි.

1989දී දියත් කරන ලද ජනසවිය වැඩසටහන දේශපාලනික හේතු මත 1994න් පසුව සමෘද්ධිය බවට පරිවර්තනය කරන ලදී.

2020 වසරේදී සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර විසින් අසන ලද ප්‍රශ්නයකට රජය වෙනුවෙන් පිළිතුරු ලබාදු ශෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමතිවරයා පහත දැක්වෙන කරුණු පෙන්වා දුන්නේය.

2020 සැප්තැම්බර් 01 දිනට සමෘද්ධි සහනාධාර ලැබූ මුළු පවුල් සංඛ්‍යාව 1,784,082කි. එය සහනාධාර වර්ගීකරණය අනුව පහත පරිදි වේ. ‍

වර්ගීකරණය                             පවුල් සංඛ්‍යාව
රු. 420.00                                    83,551
රු.1,500.00                                  636,445
රු.2,500.00                                 350,278
රු.3,500.00                                 713,808

එකතුව 1,784,082.00
මූලාශ්‍රය: පාර්ලිමේන්තු වෙබ් අඩවිය

එම පිළිතුරෙහි අඩංගු වූ පහත දැක්වෙන කොටස සමෘද්ධි වැඩසටහනෙහි අසාර්ථකත්වය හා දේශපාලනික ලක්ෂණ මැනැවින් නිරූපණය කරයි.

“2005 වසර වනවිට 1,960,664ක් පමණ වූ සමෘද්ධිලාභින් සංඛ්‍යාව,  2015 වසර ආරම්භයේදී 1,453,078ක් වූ අතර, 2018 වසර වනවිට 1,384,021 දක්වා අඩු වීම කැපී පෙනෙන සාධනීය ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැක.

කෙසේ වුවද, පසුගිය යහපාලන රජය විසින් 2019 වර්ෂයේදී දේශපාලන ලෙස තෝරා ගත් නව ප්‍රතිලාභින් 433,500කට පමණ සමෘද්ධි සහනාධාර හිමිකම් ලබා දීම නිසා මේ වනවිට මුළු සමෘද්ධිලාභින් සංඛ්‍යාව 1,784,082ක් දක්වා වර්ධනය වී ඇත.

ගරු කථානායකතුමනි, මේ විධියට සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාවෙන් සියයට 25කට එම සහනාධාරය ලබාදී තිබෙන්නේ, 2019දී පැවැති ජනාධිපතිවරණයේදී එවකට පැවති යහ පාලන ආණ්ඩුවේ නායකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්. තවම දිළිඳුභාවයෙන් ඉන්න කණ්ඩායම් අපි මේ වනවිට හඳුනාගෙන යනවා. ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා. මේ වන විට සමෘද්ධි සහනාධාරය ඉල්ලුම් කර ඇති සංඛ්‍යාව 683,336කි.”

අධික ලෙස දේශපාලනික වූ සමෘද්ධි වැඩසටහන විධිමත් කිරීම සඳහා 2002දී සුබසාධන ප්‍රතිලාභ මණ්ඩල පනත ඉදිරිපත් කරන ලද මුත්, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සැබවින්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ 2022දීය.

ආර්ථික අර්බුදය හමු‍වේ පීඩාවට පත් දිළිඳු ජනයා වෙනුවෙන් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ ‘කොන්දේසි’ අතර ද විය. ඒ අනුව, 2022 අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන ලද හඳුනාගැනීමේ ක්‍රියාවලියක් ඔස්සේ සංවර්ධනය කරන ලද ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ ක්‍රමය ජුලි මාසයේ සිට ආරම්භ වේ.

දිළිඳු ම පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 15,000 ක් බැගින් සහ දෙවන මට්ටමේ පවුල් ලක්ෂ අටක් සඳහා මසකට රුපියල් 8,500.00 බැගින් ද, තවත් පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 5,000 බැගින් ද, සුබසාධන ප්‍රතිලාභ සහනාධාර ලෙස ගෙවීම ජුලි මස 1දා සිට ඇරඹෙන බව රජය පවසයි.

මෙම ප්‍රමාණය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 28 කට සමාන වේ. එමෙන් ම සංක්‍රාන්තික ලෙස හඳුනාගත් පවුල් ලක්ෂ හතරකට මසකට රුපියල් 2,500 ක් මෙම වසරේ දෙසැම්බර් දක්වා සුබසාධන ප්‍රතිලාභ ගෙවීමට තීරණය කර තිබේ.

දැනට හඳුනාගෙන ඇති විශේෂ අවශ්‍යතා ඇති පිරිසට සහ වකුගඩු රෝගීන්ට රුපියල් 5,000 බැගින් දීමනාවක් ගෙවනු ඇති අතර වැඩිහිටි දීමනාව රුපියල් 2,000ක් ලෙස දිගටම ගෙවීමට නියමිතය. එලෙස ආධාර ලබන පවුල් සංඛ්‍යාව දළ වශයෙන් 290,500 කි.

මෙලෙස ආධාර ලබන සමස්ත පවුල් සංඛ්‍යාව ආසන්න වශයෙන් පවුල් ලක්ෂ 23 කි. එය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 40කි.
අස්වැසුම දිළිඳු සහනාධාර යෝජනා ක්‍රමයේ විශේෂත්වය වන්නේ එය ඩිජිටල් ලැයිස්තුවක් මත පදනම් වූ, ප්‍රතිලාභියාගේ බැංකු ගිනුම වෙත කෙළින්ම මුදල් බැර වන ක්‍රමයක් වීමයි. දරිද්‍රතාවෙන් පීඩාවට පත්ව ජීවත් වන වැඩිහිටියන්ගෙන් 60% කට රජයේ හෝ පෞද්ගලික බැංකුවක එවැනි බැංකු ගිණුම් හිමි බව LIRNE asia සමීක්ෂණය මගින් හෙළිදරව් විය.

ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව අනුව, 2022 ජූනි මාසය වන විට එක් පුද්ගලයකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල රු.13,421ක් ලෙස ගණනය කර තිබිණි. දරිද්‍රතාවෙන් පීඩා විඳින පුද්ගලයන් ලෙස සැලකෙන්නේ පවුලේ ආදායමෙන් මෙම ඒක පුද්ගල වියදම සපයා ගත නොහැකි අයයි.

ඉහත සඳහන් කරන ලද LIRNE asia විසින් මෑතකදී කරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයෙන් පෙන්නුම් කළ පරිදි, ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 70ක් මේ වන විට දරිද්‍රතාවෙන් පීඩා විඳිමින් ජීවත් වෙති. මෙම පිරිස පවුල් ලක්ෂ 20කට අයත් වෙති. ගෘහ ඒකක සංඛ්‍යාව ලක්ෂ 16කි.

සමීක්ෂණය ක්‍රියාත්මක කිරීමට පෙර දින 7 තුළ ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් 33% ක් ආර්ථික අර්බුදය හේතුවෙන් සිය ආහාර පරිභෝජනය අඩු කර තිබිණි. ලාංකීය පවුල් අතරින් 47%ක් ආහාර වේල්වල ප්‍රමාණය කුඩා කළහ. 33%ක් දිනකට ගනු ලබන්නේ කලින්ට වඩා අඩු ආහාර වේල් ගණනකි.

27%ක් පවුල් ළමයින්ට ආහාර ගැනීමට ඉඩ සැලසීම සඳහා වැඩිහිටියන්ගේ ආහාර පාරිභෝජනය අඩු කළහ. කෙසේ වෙතත්, 2022 ජුලි මාසයේ ආරම්භ වන අස්වැසුම වැඩසටහන ලංකාවේ දිළිඳුභාවය පිටුදැකීමේ ක්‍රියාවලියෙහි වැදගත් සන්ධිස්ථානයක් පමණි.

නිසි පරිදි සන්නිවේදනය සිදු නොවීම නිසා හා වැරදි ප්‍රචාරයන්ට ගොදුරු වීම නිසා මේ වන විටත් සහනාධාර ලැබිය යුතු පිරිසක් මගහැරී ඇති බව පෙනේ. එබැවින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ වීමෙන් පසු එහි අඩුපාඩු නිවැරදි කරගැනීමට නැවත විවෘත වීම අවශ්‍යය.

 

Social Sharing
ආර්ථික නවතම