මේක සැලසුම් සහගත දේශපාලන දඩයමක්…!

-රසික ජයකොඩි-

මෑත කාලයේ ආණ්ඩුවට තියුණු විවේචනයක් එල්ල කළ ඩිජිටල් මාධ්‍යවේදියෙකු වන බෲනෝ දිවාකර අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේක තවදුරටත් ආගමික ප්‍රශ්නයක් මත පදනම් වූ විමර්ශනයක් කියලා පෙනෙන්නේ නැහැ. මේක සැලසුම් සහගතව සිදුවන දේශපාලන දඩයමක් බව පෙනෙන්න තියෙනවා.

නතාෂා එදිරිසූරියගේ කොමඩිය නිසා බෞද්ධයන්ගෙන් සැළකිය යුතු පිරිසකට සාධාරණ සිත් රිදවීමක් සිදුව තිබෙනවා. ඒත් දැන් සිදුවන්නේ ඒ ප්‍රකාශය නිසා බොර වුණු දියේ වෙනත් අය තමන්ට කැමති විදියට මාළු බෑමයි. නො එසේ නම් ඒ ප්‍රශ්නය පිටින් දමා තමන්ට තියෙන වෙනත් දේශපාලන ඇරියස් කවර් කරගැනීමයි.

මේ වන විට ලංකාව තියෙන්නේ විශාල ආර්ථික ගිනි කන්දක් උඩයි. විශේෂයෙන් ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික ප්‍රතිසංස්කරණ, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ගැන විශාල පීඩනයක් ආණ්ඩුවට එල්ල වෙලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, ඇඟලුම් වැනි ක්ෂේත්‍ර බරපතළ අනතුරක තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය බිමට සමතලා වෙලා තියෙනවා. මේ වෙලාවේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයයි.

මෙහෙම ආර්ථික ගිනි කන්දක් උඩ රට තියෙන වෙලාවේ ඇත්ත ප්‍රශ්න යට ගසා, අලුත් ප්‍රශ්නයක් කෘත්‍රිමව නිර්මාණය කොට, බොරු බිල්ලෙක් මවා, රටේ ජනතාව ගේ ඇස් නිලංකාර කිරීමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සමාජ මාධ්‍ය මෙහෙයුමක් වෙනම සිද්ධ වෙනවා. මේ ප්‍රශ්න ඇවිස්සීම සඳහා ආණ්ඩුවේ ඉත්තන් පාවිච්චි කෙරෙන බව පෙනෙන්න තියෙනවා.

ඒ වගේ ම මෙය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටින, පරාජිත දේශපාලන බලවේගවලට නැවත කරළියට පැමිණීම සඳහා හොඳ වේදිකාවක් සකස් කරමින් තිබෙනවා. මෙය පිටින් දමා ආණ්ඩුවේ විවේචකයන් හිර කරන්නත්, දඬු කඳේ ගසන්නත් මෙය හොඳ අවස්ථාවක් උදාකොට තිබෙනවා. ඒ සඳහා ICCPR නීතිය අවභාවිතා කෙරෙනවා.

මෙය ඔවුන්ට එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනෙකු බා ගැනීම සඳහා උදාවුණු දුර්ලභ අවස්ථාවක්. මෙබඳු අත්අඩංගුවට ගැනීම්වලට හුරේ දමන හැමෝටම කියන්න තියෙන්නේ හුරේ දමනකොට හෙමින් දමන්න කියා විතරයි. මෙවැනි භයානක උපායමාර්ග විසින් රටට ඉතා ම නරක පූර්වාදර්ශයක් සපයනවා. මේ නරක පූර්වාදර්ශවලින් අද ඔබ අකැමැති අය පීඩාවට පත් කරනකොට ඔබට කිසියම් සතුටක් දැනෙනවා ඇති.

ඒත් මේ නරක පූර්වාදර්ශ මේ ආණ්ඩුව විතරක් නෙවෙයි, ඉදිරියට බලයට එන ඕනෑම ආණ්ඩුවක් විසින් භාවිතා කරනු ඇති බව පැහැදිලියි. ඒ නිසා අද මේවාට හුරේ දමන ඔබත් හෙට මේවායේ වින්දිතයෙකු වී සිටින්නට පුළුවන්. එදාට ඔබ වෙනුවෙන් කතා කරන්නට කිසිවෙකුත් ඉතිරි වී සිටින එකක් නැහැ.

උපුටාගැනීම – ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග