රඹුක්කන පොලිස් ඝාතනයට අවුරුද්දයි..!

Victims of Rambukkana police shooting go to Supreme Court-කේ. සංජීව-

රඹුක්කන පොලීසිය විසින් මහජන උද්ඝෝෂණයක් වෙත වෙඩි වරුෂාවක් එල්ලකර එක් පුද්ගලයෙක් ඝාතනයට ලක්කර තවත් පිරිසකට තුවාල සිදුකර අදට අවුරුද්දක් ගතවී ඇත. එහෙත් තවමත් මෙම ඝාතනය සඳහා අණදුන් පොලිස් නිළධාරියාට හෝ මෙම වෙඩි තැබීම සිදුකළ පහළ පොලිස් නිළධාරීන් ට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන බවක් පෙනෙන්නට නැත.

පසුගිය 2022 අප්‍රේල් 19 දා ඉන්ධන ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයක් රඹුක්කන නගරයේ පැවතී ඇති අතර එම ස්ථානයට බීමතින් පැමිණ මෙම ඝාතනයට අණදුන් එවක කෑගල්ල භාර එස් එස් පී කීර්තිරත්න හට පොලීසිය කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් හෝ මේ වනතෙක් ගෙන නැත. ඒ වෙනුවට ඔහු තංගල්ල දිසාව භාර එස් එස් පී ලෙස පත් කර ඇත. මෙම උසස් පොලිස් නිළධාරියාගේ අණට අනුව වෙඩි තැබීම් සිදුකළ පහළ පොලිස් නිළධාරීන්ට විරුද්ධවද කිසිඳු ක්‍රියාමාර්ගයක් තවමත් ගෙන නැත.

ඝාතනයට ලක්වූ චමින්ද ලක්ෂාන් නම් පුද්ගලයා ඉලක්ක කර වෙඩි තබන ආකාරය CCTV කැමරාවල සටහන් වී ඇතැයි වර්තා වෙන අතර එම වෙඩි තැබීම සිදුකළ පොලිස් නිළධාරියාට විරුද්ධව හෝ නීතිය ක්‍රියාත්මක වෙන බවක් පෙනෙන්නට නැත. මෙම ඝාතනය සහ තුවාල සිදුකිරීම් පිළිබඳව පරීක්ෂණ මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යයි. එහෙත් එහි කිසිඳු ප්‍රගතියක් නැත. ඒ වෙනුවට පරීක්ෂණ යටගසන ස්වරූපයක් පෙනෙන්නට ඇත.

මෙම අනීතික වෙඩි තැබීම නිසා එක් පුද්ගලයෙක්ට සිය ජීවිතය අහිමිවූ අතර තවත් විශාල පිරිසක් මේ නිසා සඳාකාලික ආබාධිත තත්ත්වයට පත්විය. එහෙත් මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයා වෙනුවෙන් හෝ ආබාධයට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් රජය වන්දි ප්‍රධානයක් හෝ සිදුකර නැති අතර ඒ සඳහා කිසිඳු රාජ්‍ය මැදිහත්වීමක් දක්නටද නැත.

මෙම සියලු තත්ත්වයන්ට විරෝධය දක්වා අද (19) උදේ 10ට රඹුක්කන නගරයේදී උද්ඝෝෂණයක් පවත්වන බව අයිතිය වෙත වාර්තා වෙයි..

මේ අයිතිය වෙබ් අඩවිය මීට ටික කාලෙකට කලින් මේ පොලිස් ඝාතනය පිළිබඳව කළ වාර්තා චිත්‍රපටියක් –

Social Sharing
නවතම පුවත්