මහා විල්, සොයාගෙන කියවන්න….!

මහාවිල් යනු නයිජීරියානු ලේඛක එලිචි අමාඩි විසින් 1969 දී ඉංගිරිසි බසින් ලියන ලද The Great Ponds නම් නවකතාවේ සිංහල පරිවර්තනයයි’

1934 මැයි 12දා උතුරු නයිජීරියාවේ ඉලූ නම් ගමේ ඉබෝ පවුලක උපත ලද අමාඩි ගණිතයෙන් හා භෞතික විද්‍යාවෙන් විද්‍යාවේ දි උපාධියක් ලබා ගත්තේ ය. ගුරුවරයෙකු වශයෙන් ජිවිතය ඇරඹු ඔහු පසුව නයිජීරියානු හමුදා පාසැලේ සේවය කරන අතර 1967 ඇරැඹි බ්‍යාෆ‍්‍රා යුද්ධයට සහභාගි විය. ඔහු නිර්මාණය කළ නවකතා සංඛ්‍යාව පහකි. ඒ අතුරින් මෙය අතිශය ජනප්‍රිය වූවකි. වැදගත් සාහිත්‍ය කෘතියක් සේ සැලකෙන The Great Ponds නිර්මාණය වී ඇත්තේ අමාඩි සහභාගි වූ බ්‍යාෆ‍්‍රා යුද්ධයේ කුරිරු අත්දැකීම්වලින් ලද උත්තේජනයෙන් බව පැවසේ.

1918 වසරේ ලොව පුරා ඉන්ෆ්ලූවෙන්සාවක් පැතිර ගිය අතර මුල්වරට H1N1 වයිරසය අනාවරණය කැර ගන්නා ලද්දේ ඒ අවස්ථාවේ දී ය. මේ වසංගතයට ගොදුරුව ලොව පුරා මිනිසුන් කෝටි දෙකකට ආසන්න සංඛ්‍යාවක් මරු මුව වන් බව වාර්තා වෙයි. මෙය අෆ්‍රිකානුවන් විසින් හඳුන්වනු ලැබූයේ දේව කෝපය නිසා ඇති වන ‘වන්ජෝ’ නම් රෝගය ලෙසිනි. අමාඩිට අනුව දේව කෝපය ඇරඹුණේ මේ කෘතියේ එන සටන නිසා ය.

උතුරු නයිජීරියාවේ කල්පිත ගම් දෙකක් වූ චි ඕලූ සහ අලියකොරෝ මායිම් වී ඇත්තේ වගාබා මහා විලෙනි. මේ විලේ මත්ස්‍ය සම්පත කලෙක පටන් භුක්ති විඳින්නේ චි ඕලූ ගම්මුන් ය. ඒ ආදියේ ගම් දෙක අතර ඇති වූ සටනකින් චි ඕලූවන් ජය ලැබිම නිසා ඇති වු සම්මුතියකට අනුව ය. එහෙත් දැන් ඔවුන්ගේ එම අයිතියට තර්ජනයක් එල්ල කරමින් අලියකොරෝ ගම්මු එහි මාලූ අල්ලන්නට එති. මෙය නොඉවසන චි ඕලූවෝ විල අසල රැක සිට අලියකොරෝවුන් හා සටන් කොට දෙදෙනෙක් ගල ග්‍රහනයට ගනිති.

අලියකොරෝවුන් ද නිකම් සිටින්නේ නැත. ඔවුහු චි ඕලූ ගමේ තරුණ ගැහැනුන් දෙදෙනකු පැහැර ගෙන ගොස් වහලූන් ලෙස විකුණති. චි ඕලූ පාර්ශ්වයෙන් සටන මෙහෙය වන්නේ ඔලූම්බා නමැති දෙවියන් කෙරේ දැඩි විශ්වාසය ඇති හැඩි දැඩි තරුණයකු වන අතර අලියකොරෝ පැත්තේ ඔහුගේ පිළිමලා වාගෝ නමැති දිවියන් පවා දඩයම් කොට ඇතැයි කියන හිතුවක්කාර නරුමයෙකි. දෙපාර්ශ්වය ම කියන්නේ විල තමන්ට අයිති නිසා එහි මත්ස්‍ය සම්පත තමන්ට හිමි විය යුතු බවයි. සටන් කිහිපයක් ම ඇවිලේ. ඒවායින් මිනිස්සු බොහෝ දෙනෙක් මරු දකිති. මහ දවාලේ පැහැර ගෙන යාම් සිදු විය හැකි බැවින් මිනිසුන් වගාවක් සඳහාවත් එලිපහලියට එන්නේ නැත. මේ නිසා ටික කලක දී ඔවුහු ආහාර හිඟයකින් ද පෙළෙති.

මීට අදාළව ගම් ප්‍රධානින් අතර සාකච්ඡා කිහිපයක් ම පැවැත් වුණ ද ඒවා සියල්ල අසාර්ථක වෙයි. වාගෝ කිසි ආකාරයකින් සමාදානයට එළැඹෙන්නට ඉඩ දෙන්නේ නැත. වෙනත් ගමක ගම් දෙටුවන්ගේ සහායෙන් පැවැත්වෙන සාකච්ඡාවකදී වාගෝ ඉදිරිපත් කරන අදහස වනුයේ වගාබා විල සිය ගමට අයිති බවට චි ඕලූ වැසියකු දිව්රුම් දිය යුතු බවයි. දිවුරුම දිය යුත්තේ අලියකොරෝ හි නපුරට අධිපති ඔග්බුනාබාලි නම් දෙවියන් ගේ නමිනි. මෙතැන් සිට නව සඳ හයක් ඉක්මෙන්නට මත්තෙන් දිව්රුම් දුන් පුද්ගලයා මිය ගිය හොත් විල චි ඕලූවට හිමි නැති බවයි. මේ අවස්ථාවේ දි වාගෝ ගේ සමච්චල් කිරීම්වලින් කෝපයට පත් වන ඔලූම්බා සිය ගම වෙනුවෙන් ඉදිරිපත් වෙයි. ඔග්බුනාබාලි වෙනුවෙන් දිව්රීම කළ හැක්කේ සිය දිවි පරදුවට තබා පමණි.

ඔලූම්බාගේ සිතේ චකිතයක් වෙයි. අනෙක් ගම්මු ද ඒ චකිතයෙන් ම යුතු වෙති. ඔලූම්බා රැක ගැනීම සිය පරම යුතුකම ලෙස සියලූ ගැමියෝ සලකති. ඔලූම්බා නැසීම සඳහා හදි හූනියම් කිරීම අලියකොරෝවුන්ට තහනම් නමුත් ඒ නොතකන වාගෝ එබඳු දෑ ද කරයි. ඊට අමතරව ඔහු රාත්‍රී කාලයේ චි ඕලූවේ සැරි සරයි. ඔහුගේ දාමරිකකම්වලට අලිකොරෝ හි වැඩිහිටියන් විරුද්ධ වූව ද වෙන කරන්නට දෙයක් නොමැති හෙයින් ඔවුහු ඔහුගේ සිතැඟිවලටම ඉඩහැර සිටිති.

මාස හය ඔලූම්බා ගෙවා දමන්නේ අවුරුදු හයක් තරම් අසීරුවෙනි. වරින්වර අසනීප වන ඔහුගේ ශාරීරික මෙන් ම මානසික ශක්තිය ද කෙමෙන් පිරිහෙයි. අවසාන මාසයේ උණ රෝගයක් පැතිර යන්නේ ගම්මුන් තැති ගන්වමිනි. මේ නම් නපුරු ඔග්බුනාබාලිගේ සාපය නිසා ය’යි ඔවුහු විශ්වාස කරති. මරණයට ගොදුරු වන්නේ ශක්තිමත් තරුණ ගැහැනුන් හා පිරිමින් ය. බැරිම තැන ඔවුහු සිය දිවුරුම අස් කරවා ගැනීමට අලියකොරෝ ගම් දෙටුවන් එකඟ කරවා ගන්නට දූත පිරිසක් එහි යවති. ඒ ගම ද දෙවියන්ගේ සාපයට බඳුන්ව ඇති බවත් මිනිසුන් මියැදෙමින් සිටිනා බවත් ඔවුහු අනාවරණය කැර ගනිති. දිවුරුම ඉවත් කරවා ගැනීමකට වාගෝ එක`ග නොවෙයි. ඔලූම්බාගේ දුව මියැදෙන අතර බිරියන් දෙදෙනාට ම සහ එකම පුතාට ද රෝගය වැළඳේ. මෙයින් ඔලූම්බාගේ දිරිය තවත් සිඳේ.

සිහි මද ගතියෙන් පෙළෙන ඔලූම්බා නොපෙනෙන සතුරන් හා සටන් කරයි. ඒ සඳහා ගම මැද පොර පිටියට යන ඔහු සිය සැරයටිය වනමින් වෙහෙසෙයි. දිනෙක දිවියෙක් ඔහුට ප‍්‍රහාරයක් එල්ල කරයි. ඒ සමක් පොරවා දිවි වෙස් ගන්නා වාගෝ ය. ඔලූම්බාගේ ආරක්‍ෂාවට නිබඳ සූදානමි වැ සිටින තරුණයෝ පැමිණ දිවියාට බරපතල හානි සිදු කරති. වාගෝ දිවි සම ද හැර පියා පළා යයි. එදා ම සය වන නවසඳ උදා වෙයි.

දැන් දිව්රුමේ කාලය අවසන් ය. කාලය තුළ ඔලූම්බා මරණයට පත් නොවූ හෙයින් චි ඕලූවන්ට දිනුම අත්වේ. ඒ අනුව වගාබා විලේ මසුන් නෙලා ගැනීමේ අයිතිය ද සදහටම ඔවුන්ට හිමි ය. එහෙත් මහා විලට පැන වාගෝ සිය දිවි හානි කැරගත් බව අසන්නට ලැබේ. ඒ පෙදෙසේ චාරිත‍්‍රයකට අනුව කිසිවකු ජලාශයකට පැන සිය පණ නසා ගත හොත් එහි මසුන් පරිභෝජනයට ගැනීම නිච ක්‍රියාවකි. ඒ නිසා ඔවුන්ගේ ජයග්‍රහනය නිශ්ඵල වෙයි.

ඒ කියන්නේ චි ඕලූවන් සටනින් දිනූව ද ඔවුන්ට ජය නොලැබුණු බවයි. නොකියා කියන්නේ කවර සටනක් වුව ද ඔයාකාර බවයි. සටන් කිරීම තරම් තවත් මෝඩ කමක් නොමැත. ඒ බව වටහා ගන්නා විට බොහෝ දෑ ඒ වෙනුවෙන් කැප කර හමාර ය.

The Great Ponds රංජිත් අමරසේකර විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව මහාවිල් නමින් ගොඩගේ සහෝදරයන් විසින් 1996 වසරේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

-එස්. නන්දලාල්-

Social Sharing
අවකාශය නවතම