‘අකාල සන්ධ්‍යා’වේ ලස්සන…!

-පංකජ සෙනෙවිරත්න-

ලංකාවේ එදා මෙදාතුර බිහි වෙලා තියෙන හොඳම ටෙලි නාට්‍ය මොකක්ද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් මම කියන්නේ අකාල සන්ධ්‍යා කියලා… (නෑ නෑ කූඹියෝ නෙමෙයි, කූඹියොත් හොඳයි තමයි.. හැබැයි මේක වෙනම ලෙවල් එකක්)

අකාල සන්ධ්‍යා කියන්නේ අද කාලේ අපි රහ කර කර බලන ටයිම් ට්‍රැවලින් කියන කන්සෙප්ට් එක අපේ රටට ගැලපෙන විදිහට අපේම ක්‍රමයකට ඇඩප්ට් කරගත්ත කතාවක්. 1999 වගේ කාලෙක ජයන්ත චන්ද්‍රසිරි අතින් නිර්මාණය වෙන මේ කතාවට ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානච්චි, ඩබ්ලිව් ජයසිරි, සබිතා පෙරේරා වගේ ඒ කාලේ හිටිය වැඩ්ඩෝ සෙට් එකක්ම රංගනයෙන් දායකත්වය සපයනකොට සංගීත අධ්‍යක්ෂණය සහ ගායනය කේමදාස මාස්ටර්, මාලිනී බුලත්සිංහල සහ අමරසිරි පීරිස් වගේ දැවැන්තයින් අතින් නිර්මාණය වෙනවා.

17 වෙනි සියවසේ කන්ද උඩරට රාජධානිය සමයේ අංගම්පොර පරතෙරටම පුරුදු පුහුණු වුන පරම්පරා දෙකක් වෙන “සුදලිය” පරම්පරාව සහ “මරුවල්ලිය” පරම්පරාව අතර ඇතිවෙන ඝට්ටනය එක්ක සුදලිය පරම්පරාවේ නාගසිංහ (ජැක්සන් ඇන්තනී) අනිත් කිසි කෙනෙක් ලගා නොවුන තරමට කුණ්ඩලීනයෝගය වඩලා ටයිම් ට්‍රැවල් කරන්න හැකියාව ලබා ගැනීමත් එක්ක නාගසිංහ ගේ ඉරණම වටා කතාව ගොඩනැගෙනවා.

 

අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන තාක්ෂණය මත පදනම් වෙලා හදන ටයිම් මැශින් වලින් කරන ටයිම් ට්‍රැවලින් වෙනුවට කුණ්ඩලීන යෝගය වඩලා ලබා ගන්න ධ්‍යානයක් මගින් අධ්‍යාත්මික ක්‍රමයකට ටයිම් ට්‍රැවලින් කරන්න යොදා ගැනීම, භාවනාව සහ ධ්‍යාන වැඩීම හුරුපුරුදු රටකට හරිම සමීප විදිහට අධ්‍යක්ෂකවරයා ස්පර්ශ කරලා තියෙනවා.

ටයිම් ට්‍රැවල් කරන්න හැකියාවක් ලැබුණ ගමන් අපිට ඊළගට එන ප්‍රශ්නය තමයි අපි කොහෙටද මුලින්ම යන්නේ කියන එක. මේකට සාර්ථකම උත්තරයක් හොයාගන්න අධ්‍යක්ෂකවරයා, මෙතනදි 17 වෙනි සියවසේ ජීවත් වුන සිංහල බෞද්ධයාගේ මනෝභාවය තේරුම් අරගෙන, පලවෙනි ඩෙස්ටිනේශන් එක විදිහට තෝරගන්නේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටින සමයට ගිහින් බණ අහලා නිවන් දකින එක.

හැබැයි වැරදීමකින් අනුරාධපුර / පොළොන්නරු යුගයකට ගමන් කරන නාගසිංහ, රහතන් වහන්සේ කෙනෙක්ගේ අදහසක් අනුව තමන්ගේ මරණය වෙන දවස දකින්න අනාගතයට යනවා. තමන්ගේ මරණය තමන්ගේ ඇස් දෙකෙන්ම දැකලා පිස්සු වැටිලා මරණයෙන් බේරෙන්න හිතාගෙන මේන් ටයිම් ලයින් එකෙන් පිට පැනලා අනාගතයට ඇවිල්ලා ජීවත් වෙන්න නාගසිංහ තීරණය කරනවා.

හැබැයි කාලයත් එක්ක යතාර්ථය තේරුම් අරගෙන තමන්ව මරණ මරුවල්ලිය පරම්පරාව එක්ක තියෙන සියළු වෛර කෝන්තර අමතක කරන්න තීරණය කරන නාගසිංහ, ටයිම් ලයින් එකේ තමන්ගේ මරණයෙන් පසු කාලයක තමන්වම මරමු කෙනාව හම්බෙලා කතා බහ කරලා අනුරාධපුර යුගයේ ගෝඨයිම්භර මහසෝනා සටනේ ඉඳන් පරම්පරා ගාණක් තිස්සේ ඇදිලා ආව සුදලිය මරුවල්ලිය

පරම්පරා දෙකේ ගැටුමට තිත තියනවා.

කතාව ආරම්භයේ සිදුවන සටනකදි තමන්ගේ ගුරුවරයා එක්ක කුණ්ඩලීනයෝගය මගින් දෙන්නා සින්ක් වෙලා නීති විරෝධීව අංගම් සටනකින් දිනන නාගසිංහ, කාලයත් එක්ක පරිණත වෙනවා වගේම තමන්ගේ ඉරණමට පිටුපාලා ජීවත් වෙන්න බැරිබව තේරුම් ගන්නවා.

අවසන් වතාවට අනාගතයේ ඉදලා තමන්ගේ මරණය සිදුවෙන දවසට නාගසිංහ ආපහු එන්නේ තමන්ගේ මරණය සිදු වෙන බව දැන දැනමයි. ඒක හරියට නිකන් සූසයිඩ්ල් මිශන් එකකට යනවා වගේ ගැම්මක්, ඒ විතරක් නෙමෙයි, කලින් වතාවේ තමන් අතින් සිදුවුන වැරැද්ද නිවැරැදි කරගන්න තීරණය කරන නාගසිංහ, අන්තිම සටනෙදි තමන්ගේ ගුරුවරයා නීති විරෝධීව කුණ්ඩලීනයෝගය පාවිච්චි කරලා උදව්කරන්න හදන එක ප්‍රතික්ෂේප කරලා වීරයෙක් විදිහට අංගම්පිටිය මැදදිම අන්තිම හුස්ම හෙලනවා.

කතාවෙ ස්පෙශල් කැරැක්ටර් එකක් විදිහට ලාංකේය ජන සමාජයේ ඉන්න මනඃකල්පිත චරිතයක් වෙන මහසෝනාව කරලියට ගේන්න බුද්ධදාස විතානච්චි රංගනයෙන් දායකත්වය දීලා තියෙනවා. අංගම්පොර සටන් කලාව එක්ක මහසෝනා හෙවත් ජයසේනට තියෙන සම්බන්දය නිසාවෙන් කුණ්ඩලීනයෝගය වඩන නාගසිංහගේ කාල තරණය වලක්වන අදහසින් කතාවට එකතු වෙන මහසෝනා, නාගසිංහ එක්ක වැරදීමකින් අනාගතයට එනවා. මෙතනදි නම් අපි අහලා තියෙන බල සම්පන්න භයානක යක්ශයෙක් වෙච්ච මහසෝනා වෙනුවට නාගසිංහ ඉස්සරහා පීචං වුන මහසෝනෙක් තමයි බලාගන්න වෙන්නේ.

කොහොමහරි කතාවේ තියෙන විශුවල් ඉෆෙක්ට්ස් නම් එච්චරටම සාර්ථක නෑ.. හැබැයි ලංකාවේ 2020 ගණන් වල නිර්මාණය වෙන කතාවල තියෙන විශුවල් ඉෆෙක්ට්ස් එක්ක සන්සන්දනය කරනකොට 1999 වගේ කාලෙක ඔහොම හරි තියෙන එක ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්. මුලු කතාවටම කොටස් 16යි තියෙන්නෙ. ඕනේ කෙනෙක්ට youtube එකේ සර්ච් කරලා ප්ලේලිස්ට් එකම බොහොම ලේසියෙන් හොයාගෙන බලන්න පුළුවන්.

හරිහමන් තාක්ෂණයක් එක්ක හොද විශුවල් ඉෆෙක්ට්ස් දාලා රීමේක් එකක් කරොතින් ලෝකේ අනිත් ටයිම් ට්‍රැවලින් සිරීස් එක්ක කරට කර හිටගන්න පුළුවන් තරම් ස්ට්‍රෝන්ග් ප්ලොට් එකක් තියෙන ඉන්ටරෙස්ටින් කතාවක් විදිහට “අකාල සන්ධ්‍යා” ඉදිරියෙන්ම තියන්න පුළුවන්.

බලලා නැත්තම් බලන්න…

 

 

Social Sharing
අවකාශය නවතම