කලං…!

රූපවාහිනියවත් අන්තර්ජාලයවත් නොතිබුනු සමයක අපේ ගැටවර විය ගෙවී ගියේය. එකල සිනමා නළුවා හා නිළිය යනු අධිනිශ්චය වූ චරිතයන්ය. කඩවසම් බව හා රූමත් බව පිළිබඳ යෙදුම් හා උදාහරණ සැකසී තිබුණේ ඔවුන් වටාය. අපේ කාලයේ විජය හා ගාමිණීත් මාලනී ෆොන්සේකාත් එවැනි වරලත් චරිතයෝය. අපේ යුගයට පෙර ආනන්ද ජයරත්න, සන්ධ්‍යාකුමාරි වැන්නෝ ඒ වරලත් තත්වයන් හිමිකරගෙන සිටින්නට ඇතැයි සිතමි. එහෙත් ඒ කිසිවකු අපේ මට්ටමට කපා මසා ගන්නට බැරි දැවැන්තයෝ වූහ. ඒ නිසාම අපට සිදු වූයේම කිසියම් වීරාභිවාදනයකින් යුතුව අත්පුඩිතලමින් ඔවුන්ගේ රඟපෑම් දෙස බලාසිටින්නටය.

මාලනී අයිති ගාමිණීට හෝ විජයට මිස අපට නොවේ යයි අපි දැන සිටියෙමු. ඒ ඔවුන් තරම් අප කඩවසම් නොවූ හා ආදරවන්තයන් නොවූ නිසාය. එහෙයින්ම ඔවුන් වීරයන් මිස අපේ අය නොවූහ. විජය දේශපාලනයට පැමිණි පසුව වුවද ඔහු වීරයෙකු මිස ‘මම’ හෝ ‘අප’ වැන්නෙක් වී යැයි නොසිතමි.

මට නම් සිනමාවේදී පළමුවරට ‘මම’ හෝ ‘අප’ වැන්නෙක් දකින්නේ අමරසිරි කලංසූරියගෙනි. ඔහු බොහෝ සංඛ්‍යාවක් චිත්‍රපටවල රඟපෑවේ නැති නමුත් ඒ රංගනයන් සියල්ලම තුල ඒ ජීවී මිනිසා සිටියේය. දක්ෂ සැට්ටරෙකු සේ ධර්මසේන පතිරාජයන් කලංසූරියව ඔහුගේ ජීවාත්මය මතුකොට සිනමාවට ගෙනාවේය. කලංසූරියට ආසන්න විය හැකි කීපදෙනෙකු සිංහල සිනමාවට ආවත් ඒ කිසිවෙකුට ඔහුට සමවන්නට බැරිවිය. ඔහු මහපොලොව සමග ගැටෙන ලාංකික තරුණයාගේ සමීපතම ප්‍රතිරූපය විය.

ඒ කලං ගැන මගේ සාමාන්‍ය කියවීමයි.

ඔහු අපගේ පෞද්ගලික ජීවිතවලට කෙසේ බලපෑවේද?

ඔහු අපේ පාසලේ හැට ගණන්වල ඉගෙනගත් ශිෂ්‍යයෙකි. සැලකිය යුතු ඉතිහාසයක් තිබීම, උසස් තනතුරු ලාභීන් ඒ පාසලින් බිහිවීම ආදි අනෙක් පාසල්වලටත් පොදු කාරණා මට නම් අපේ පාසල සම්බන්ධව එතරම් හැඟීමක් දනවන කාරණා නොවේ. එහෙත් අපේ ජීවිත ආර සකස් කර ගැනීමට ඒ පාසලින් වූ මෙහෙය කවරේද යන කාරණය එම පාසල කෙරේ මගේ කෘතගුණය වඩවයි.

විද්‍යා සිසුන් වූ අපට කලාවේ ආනුභාවය කියාදුන් දැවැන්තයින් රැසකගේ බලපෑම අපේ පාසලින් අපට ලැබුණේය. විද්‍යාවෙන් අසාර්ථක වීමටත් කලාවේ නිම්වළල්ලට ඇතුලු වීමටත් ඒ ආනුභාවය බලපෑවේය. විද්‍යාඥයන් නොවී කලාකරුවන් වීම ජීවිතයේ අවසන් ඉනිම්වල සෙල්ලම් කරමින් සිටින අපට (උදා; මම ,පුෂ්පා, චතුර ආදීන්) ඒ හැටි අවාසියකුත් වී නැති බව අපසු හැරී බලන විට පෙනේ.

ඒ ආනුභාව සම්පන්න දැවැන්තයන් අතර කෙනෙකි අමරසිරි කලංසූරිය. ඒ දැවැන්තයින්ගේ ප්‍රමුඛයා ධර්මසේන පතිරාජයන්ය. වසර හතලිහක් ඉක්මවීත් ධර්මරාජ මතකමාත්‍ර ඉතිහාසයේ රැවිදෙන ‘සිනෙරු කලා සංසදය’ බිහිවන්නේ මේ දැවැන්තයින් අපවෙත හෙලනු ලැබූ ආනුභාවයේ ප්‍රභාවෙනි. (කැරළිකරුවන්ගේ ඉතිහාසය නිල ඉතිහාස පොතේ ලියවෙන්නේ නැත.) ඝන ගෝත්‍ර සමාජයේ මියගිය මතක සාංකාව ඔස්සේ බුදුන් වහන්සේ සංඝ සමාජය තැනූ බව සුචරිත ගම්ලතුන් පවසයි. ඒ ආකාරයටම වසර පහලොවකට පසුව සිනෙරුවේ මතක ඔස්සේ ‘ධර්මරාජ කලා සංසඳය” උපදියි. එදා සිනෙරුවේ බාහිර අනුශාසකයින් වූයේ පතිරාජ, කලංසූරිය හා දයා තෙන්නකෝන්ය. ඊට වසර පහළොවකට පසුව ධර්මරාජ කලා සංසඳය පැවැත්වූ ‘කලා උළෙලේ” දී ධර්මරාජ ප්‍රසාද ප්‍රණාමයෙන් ඔවුන් පුද ලැබීය.

දෙවෙනි අරක්කු උගුර බිව්වේ කලංසූරියගෙනි.

මගේත් ධමිමික මාභරණගේත් සංස්කාරකත්වයෙන් හා පුෂ්පානන්ද ඒකනායක වැනි හිතවතුන්ගේ ශ්‍රම දායකත්වයෙනුත් ‘ වින්දන’ සඟරාව සැකසුවෙමි. මුදල් හිඟපාඩුවී සිටි විටෙක ඒ සඳහා කිසිදාක නොපියවූ ණය දුන්නේ කලංගේ මයිඉන් සාප්පුවේ ලාච්චුවෙනි. එක් දිනක් මමත් ධම්මිකත් තවත් ණයක් ඉල්ලන්නට කලංගේ කිංස්වුඩ් විද්‍යාලය ඉදිරිපිට නිවසට ගියේ රාත්‍රියකය. ඔහුගේ නිවසට ගොඩවන විට කැපී පෙනෙන තැනක හමුදා බූට් සපත්තුවක් එල්ලා තිබේ. ඒ ඇයි දැයි ඇසූ විට කලං පැවසුවේ තමන්ගේ සොල්දාදු ජීවිතය මතක්වන්නට එය එසේ එල්ලා තැබූ බවයි.

එදා අපට රුපියල් පනහක ( වසර 1979 හෝ 1980) චෙක් එකක් ලැබුණි. අපට අවශ්‍ය වූයේත් එවැනි මුදලකි. චෙක් එකත් ලැබී රෑ බෝ වීත් තවත් අප තාවර වනු දැක ‘උඹලට බොන්න ඕනැද? ඒකනේ ඔය තව ඉන්නෙ’ කියා ගෙතුලට ගොස් මි.ග්‍රෑම් 50 ක පමණ ප්‍රමාණයක් අරක්කු වීදුරු දෙකකට අයිස් හා සෝඩාද දමා අපට ගෙනවිත් දුන්නේය. එදා ඔහුගේ හමුදා ජීවිතය ගැන තව විස්තර පැවසුවා මට මතකය. ඒ ජීවිතයේ දෙවනවර බිව් අරක්කු උගුරයි.

එකල කවර තරමේ ජනප්‍රිය පුද්ගලයෙකු වී සිටියත් පාසල සංවිධානය කළ Cross country දිවීමට ක්‍රීඩකයෙකු ලෙස ඔහු සහභාගි විය. මහා ක්‍රිකට් තරඟයේ උද්යෝගිමත් නරඹන්නෙකු විය. කලං නම් ඒ බලපෑම් සහගත තරුණයා අසූ වයස් පිරීත් තරුණයෙකු ලෙසම අප හැර ගොසිනි. අපේ ජීවිතවලට වර්ණයක් එකතු කළ ඔබට සුබ ගමන්!

චන්ද්‍රරත්න බණ්ඩාර

 

Social Sharing
අවකාශය නවතම