පාදෙණිය එක්ක තරහා නිසා රෝහල් ටික විකුණන්න කියමුද?..

 

-කේ. සංජීව-

මේ විකිණිල්ල සාර්ථක කරගන්න ආණ්ඩුව, පුරවැසියාගේ ඔලුවේ තියෙන වෘත්තීය සමිති විරෝධය සහ වෛරය පාවිච්චියට ගන්නවා පේනවා. ලංකාවේ මිනිස්සුන්ට මේ සෙට් එක එපාම වෙලා ගියේ ගොමාලා නිසා. නැත්තං පාදෙණිය සහ පාදෙණිවාදය වෙලාගත්ත වෘත්තිය සමිතිවාදය නිසා. ලංකාව වෙලාගෙන තියෙන වර්තමාන අර්බුදයේ ලොකුම පංගුවක් මේ පඩත්තලයන්ගේ කෙරුවාවල්වලට බැරවෙනවා. ඒක තමයි ඇත්ත. ඒත් මුන් එක්ක තියෙන තරහට අපිට කියන්න පුලුවන් ද ‘හා හරි හරි ඔය ඉස්පිරිතාල ටිකත් විකුණලා දාමු’ කියලා.

දැන් නම් පේන්න තියෙන්නේ මිනිස්සු එහෙම කියනවා රැල්ලට. ‘ඔව් ඔව් ඔය විදුලි ඉංජිනේරු මාෆියාවට කෙළවන්න ඕකේ නිකං ඉඳලා පඩි ගන්න කාලකණ්ණීන්ට කෙළවන්න ඕවා විකුණන්න ඕනී..’ එහෙමයි අද ජනීජනවාදය හැඩගැහිලා තියෙන්නේ.

මම නම් කියන්නේ අපි මූනත් එක්ක තරහා වෙලා නහය කපාගන්න තමයි මේ දඟලන්නේ. පාදෙණිය එක්ක තියෙන තරහට කොහොමහරි ඉස්පිරිතාල ටික විකුණන්න ඕනී මතේ රට අස්සේ හැදුවොත් වැඩි කළක් නොගිහිංම කෙළවෙන කෙළවිල්ල බලාගන්න පුලුවන් වෙයි.

ලංකාව කියන්නේ කිසිම නීතියක් විනයක් නැති කාලකණ්ණි රටකට. ඒකයි මගේ මේ අවුරුදු 40ක අත්දැකීම. මේක අපරාධ රාජ්‍යයක්. ඒකයි ඇත්ත. මෙහේ දැනට ක්‍රියාත්මක පුද්ගලික රෝහල් කියන්නේ මිනී මරණ සාප්පු. ලෙඩ්ඩුන්ගෙන් සුපිරියටම සූරගෙන කන තැනක් තමයි මේ පුද්ගලික රෝහල්. මේවාට කිසිම නියාමනයක් නෑ. සොයා බැලිලක් නෑ. බෙහෙත් ගන්න රෝහල් දහයකට ගියොත් බෙහෙත් වල සහා සේවාවේ මිල දහා ආකාරයක්.

මේ මෑත වත්තල හේමාස් එකේ සැත්කමක් කරලා මැරුණ කෙනාට යුක්තිය ඉටු වුණාද? ඒකට වඟකියන්න ඕනී දොස්තරට මොකද වුණේ, නිකමට සොයලා බලන්න. ඊළඟට අපේ හොඳ මිතුරියක් වුණ නිර්මානිට මොකද වුණේ, කවුද ඒ ගැන කතා කළේ? ඒ ගැන මොනවද වුණ පරීක්ෂණ. මේවගේ අවුරුද්දකට මාසෙකට කීයක් නම් මේ රෝහල් වරදින් මැරෙනවාද?

අදාළම නැති පරීක්ෂණ කරලා, අදාළම නැති බෙහෙත් දීලා, මේ ආයතන අවුරුද්දකට කීයක් නම් මිනිස්සුන්ගෙන් කූට විදිහට උපයනවද? ඒවා ගැන රජය මොනාද කරන්නේ? කවුද සොයලා බලන්නේ? කවුද නියාමනය කරන්නේ?

මේ තත්ත්වය අස්සේ රෝහල්, අධ්‍යාපනය, බලශක්තිය විකුණනවා කියන්නේ ඊළඟට එන ප්‍රශ්නය බේරගන්න වෙන්නේ කොහොමද කියලා මට නම් හිතාගන්න බෑ.  දැන් අපි නිකමට හිතමු මේ විකුණගෙන යන විදිහට අපි විදුලිය උපදවන බලාගාර ටිකට ඒ බලාගාර දුවන්න වතුර දෙන වැව් ටිකට මොකද කරන්නේ? මේ වැව් වෙන වෙනම විකුණනවද? නැත්තං එකට පැක් කරලා විකුණනවද? එහෙම විකුණනවා නම් විදුලි බලය නිපදවීමට අමතරව මේවායින් සිදුව වගාව, පානිය ජලය, මත්ස්‍ය කර්මාන්තය වගේ කාර්‍යයන් වලට මොකද වෙන්නේ? ඒවා ගැන පුරවැසියාට දැනගන්න අයිතියක් නැද්ද?

ඒ නිසා මම නම් මේ මොහොතේ අධ්‍යාපනය සෞඛ්‍ය බලශක්තිය විකුණනවාට විරුද්ධයි. විකිණීම සහ කාර්‍යක්ෂමතාවය හදනවා ලාභ ලබන මට්ටමට ගේනවා කියන්නේ දෙකක්. පුද්ගලීකරණය කළත් ඒවෑ වැඩ කරන්නෙත් ලංකාවෙම මිනිස්සුනම් කොතනද වැරැද්ද තියෙන්නේ? වැරැද්ද තියෙන්නේ සිස්ටම් එකේ.

විදුලිය තෙල් වගේ තැන් ලාභ ලබන්න අමාරු නෑ. ඒක කරන්න පුලුවන්, ඒකට සිස්ටම් හදන්න ඕනී, නීති හදන්න ඕනී. අතිරික්ත සේවකයෝ අයින් කරලා ඕවා වැඩි වැඩියෙන් තාක්ෂණීකරණය කරන්න ඕනී. ඒකයි වෙන්න ඕනී.

මම ජාතික හැඳුනුම්පත හදන්න ගියා. ඒ එකදින සේවයට. ගමේ ග්‍රාමසේවක ළඟට ගිහිං පොරෝමය පුරවලා ඒක සීල්කරගෙන ඒක අරගෙන ප්‍රාලේ ළඟට ගිහිං එතනින් අස්සමක් දාගෙන කොළඹ ඇවිත් එතන පැය පහක් විතර පෝලිමේ ඉඳගෙන වැඩේ කරගත්තා. එක් දින වුණාට ඇත්තටම මට මේ වැඩේට දින දෙකක් ගියා. ඇයි අපිට බැරි මේක ප්‍රාලේ ගාවින් කරගන්න. ඇයි ග්‍රාමසේවක ළඟට යන්නේ?. පොඩි කවුන්ටර් එකක් ඕපන් කරන්න විතරයි තියෙන්නේ.. කෙළින්ම ප්‍රාලේ ගාවින් මේක කරගෙන කාඩ් එක මුද්‍රණය කරගන්න බැරි ඇයි. මේ වෙනකොට උප්පැන්න සහතික ඕනී ප්‍රාලේ එකකින් ගන්න පුලුවන්. ඒනිසා මේ වැඩේ ලේසියි. මෙන්න මේ සිස්ටම් තමයි හදන්න ඕනී.

දැන් AI කියලා සුළඟක් හමාගෙන යනවා මේවා ග්‍රහනය කරගත්තානම් මේ වැඩ මීටවඩා ලාභදායි සහා පළදායක විදිහට කරගන්න පුලුවන්. මම අයිඩී එක ගන්න ගියාම මට ලැබුණ අංකය 385, මට හිතෙනේ දවසකට අංක 1000ක් වත් දෙනවා ඇති, ඒ කියන්නේ 2000000 ක මුදලක් රජයට මිනිස්සුන්ගෙන් ලැබෙනවා. ග්‍රාමසේවකට රුපියල් 500ක් වෙනම දෙන්න ඕනී එතකොට රජයට ලැබෙන මුදල කීයක්ද? මේවා හරියට තාක්ෂණීකරණය කළා නම් මේවා ලාභදායි බිස්නස් වෙනවා.

දැන් තෙල් සංස්ථාවේ බවුසර්වලට GPS හයි කළා කියනවා. ඒනිසාම බවුසර්වල හොරයක් අහුවුණාලු. ඒක තමයි වෙන්න ඕනී. මේවා වැඩිවැඩියෙන් තාක්ෂණය මත දුවනවානම් දූෂණ වංචා ඉබේටම අඩුවෙයි. ඒ එක්කම ශක්තිමත් වංචා දූෂණ මර්ධන නීතියක් ගේන්න ඕනී. ඒක ඉතිං ගෙනාවට මදි ඒවා ක්‍රියාත්මක කරන සංස්කෘතියක් රටේ හදන්න ඕනී. විෂ පොල්තෙල් ගෙනාපු කොම්පැනිකාරයන්ට මොකද කළේ? ලංකාවට කසල ගෙනාපු එකාට මොකද කළේ? එහෙව් රටක ඉතිං මෙහෙම දීගෙන දීගෙන ගියාම මොනා වෙයිද මටනම් හිතාගන්න බෑ.

ඒනිසා මම නම් කියන්නේ උබලට විකුණන්න ඕනීනම් සෞඛ්‍ය අධ්‍යාපනය සහ විදුලිබල හා බලශක්ති වලට අත නොතියා ඉතුරු ටික විකුණහල්ලා. ඔය කියන ඒවෑ ගැඹුරු රාජ්‍ය ප්‍රතිසංස්කරණ කරපල්ලා. ඔය දැන් භාවිතා කරන අනිවාර්යය නිමාඩු යැවීම වගේ දේවල් භාවිතා කරහල්ලා. සේවක විගණනයක් කරලා වැඩ කරන්නේ නැති එවුන් අයින් කරහල්ලා. වැඩ කරන එවුන්ට උසස්වීම් දීලා දිරි ගැන්වීම් කරලා තව වැඩ ගනිල්ලා. ඒකයි වෙන්න ඕනී. ගෝඨාභය ආපු ගමන් සහකාරද මොක්කුද කියලා සාමාන්‍ය පෙළ පාස් පුද්ගලයන් ලක්ෂයකට ද කොහේද රස්සා දුන්නා නේද? විගණනයක් කරලා බලලා මුන් වෙන කොහේට හරි දාලා හෝ වැඩක් ගන්න බැරිනම් අයින් කරලා දාහල්ලා. හමුදාවත් එහෙමයි. ලංකාව වගේ රටකට හොඳ නාවික හමුදාවක් සහ පොලීසියක් හිටියාම ඇති. ඔය යුද්ධ හමුදාවගේ දේවල් වැඩක් නෑ..

මුලින්ම ආයෝජකයන්ට ඇවිත් කොමිස් දෙන්නේ නැතිව ටක්බක් ගාලා වැඩ පටන් ගන්න පුලුවන් සිස්ටම් හදහල්ලා. ඔය ශක්‍යතා වාර්තා එහෙම ඉක්මනින් ගන්න පුලුවන් ක්‍රම හදහල්ලා. වැඩි වැඩියෙන් රාජ්‍ය යාන්ත්‍රනය තාක්ෂණය මත පිහිටුවන්න කටයුතු කරහල්ලා.

ගමට එන සුද්දට ඕනීම වෙලාවක ඕනිම දවසක අරක්කු උගුරක් බොන්න හිතුනොත් ඒක කරගන්න පුලුවන් වටපිටාවක් හදහල්ලා. ඒ එන එකාට මෙහේ ගෑනියෙක් එක්ක මුදල් ගෙවලා සෙක්ස් කරන්න හිතුනොත් ඒකට ක්‍රමයක් හදල්ලා. ඔය මැනින් මාකට් එක නැත්තං බඩු පොට් එකක් වගේ තියෙන ගුවන්තොටුපළ සංවර්ධනය කරහල්ලා මිනිහෙක්ට එකපාරක් පය තිබ්බාම ආයේ ආයෙත් එන්න හිතෙන විදිහට. අනික සුද්දෙක් සුද්දියක් ආවාම ඕනී වෙලාවක තනියෙන් පාරේ බැහැලා යන්න පුලුවන් සංස්කෘතියක් හදහල්ලා.

ඒවා මුලින් කරලා රට දියුණු කරගෙන සිස්ටම් හදාගෙන නීතිය මත පාලනය වෙන රටක් බවට මේ මරණාධාර සමිතිය පත් කොරගෙන අන්තිමේට ඔය බඩකඩිත්තු ටිකත් වික්කට මට නම් ප්‍රශ්නයක් නෑ. ඒත් ඉතිං දැන් මේ විකිණිල්ලනම් සොරි ඩොට් තමයි..!!

Social Sharing
ආර්ථික නවතම