කොලොන්න කෝරලේ පුරයෙන් වහං වූ වහම්පුරයෝ

-දිනෙත් මල්ලිකාරච්චි-

උඩරට රාජධානිය පැවතුනේම නිරන්තරයෙන් එල්ල වෙච්ච පහතරට සුදු ජාතික ආක්‍රමණ වලට මුහුණ දෙමින්. ඉතින් උඩරට රජ්ජුරුවන්ට ඕන වුනා රාජධානිය වටේට විශේෂ ආරක්ෂක වළල්ලක් යොදන්න. විශේෂයෙන්ම උඩරටට ඇතුල් වෙන්න පුළුවන් කපොලු වල ආරක්ෂාව තර කරන්න ඔහුට අවශ්‍ය වුනා. මේ කියන බොහෝ තැන් තිබුනේ වනගතව. වනගත හමුදාවක් දීර්ඝකාලීනව නඩත්තු කරන එක නගරයත් එක්ක, ඒ කියන්නෙ “පුරයත්” එක්ක දිගින් දිගටම සම්බන්ධ වෙමින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඉතින් දීර්ඝ කාලීනව “පුරයෙන් වහං” කරපු “ජනාවාස හමුදාවක්” මේ කපොලු ආශ්‍රිතව නඩත්තු කරන්න රජ්ජුරුවන් වහන්සේ කටයුතු කළා. මේ උදවිය දිගටම වනාශ්‍රිතව හිටපු නිසා වනජ ද්‍රව්‍ය වලින්ම තමන්ගෙ ජීවිතය සහ ජීවිකාව සරි කරගන්නත් පුරුදු වුනා.

නිවර්තන කලාපීය තෙත් වනාන්තර තිබුණු උඩරට රාජධානියේ පිටත වටරවුමේ වඩාත්ම ප්‍රයෝජනවත් ශාකය වුනේ කිතුල් ගස. කිතුල් ගසින් පැණි, හකුරු, කිතුල් පිටි වගේ දේවල් නිෂ්පාදනය කරන්න මෙන්න මේ “පුරයෙන් වහං” වෙච්ච ජනතාව පුරුදු වුනා. පුරයෙන් වහං වෙච්ච ඒ කියන්නෙ වහුම්පුර මිනිස්සු- පැණි, හකුරු හදන්න පුරුදු වුනේ මෙන්න මෙහෙමයි කියල ජනශ්‍රුති විශ්වාසයක් තිබෙනවා.

මේ විශ්වාසයට රුකුල් දෙන ප්‍රයෝගික සාධකයක් මීට වසර ගානකට කලින් මාත් එක්ක කිව්වෙ ආචාර්ය ජගත් ගුණවර්ධනයන්. ලංකාවේ වහුම්පුර මිනිස්සු සංකේන්ද්‍රණය වෙලා ඉන්න ගම් නගර සිතියමක ලකුණු කරල ඒ සිතියම ලංකාවෙ සමෝච්ඡ රේඛා සිතියමත් එක්ක අතිපිහිත කරල බලන්න කියල ඔහු මට කිව්වා. පුදුමයකට වගේ ලංකාවෙ වහුම්පුර ජනයා විශාල වශයෙන් ඒකරාශී වෙලා ඉන්න වරකාපොල, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, වගේ තැන් හරියටම සමෝච්ඡ රේඛා සිතියමේ කපොලු විදිහට පිහිටනවා. “පුරයෙන් වහං” කරපු ජනකාය උඩරට රජ්ජුරුවෝ රාජධානිය වටේට තිබුණු කපොලු වල පදිංචි කළා කියන එකට තුඩු දෙන ප්‍රයෝගික සාධකයක් නේද ඒක?

කොහොම වෙතත් වහුම්පුර මිනිස්සු උඩරට රාජධානිය රැකගැනීමේදී අනුපමේය මෙහෙයක් ඉටු කල බවට සැකයක් නැහැ. සිංහලේ ඝන වනාන්තර විනිවිද යාම සුදු හමුදාවන්ට මාරාන්තික අත්දැකීමක් වුනේ මේ වහුම්පුරයන් හින්දා. මහ වන්නාතරයේ රැකවල්ලා ගෙන ඉඳිමින් එක් විටම මතු වෙමින් දිවි නොතකා සටන් කරපු කැලෑ හමුදාවන් ගැන සුදු වාර්තා වල තිබෙනවා. මේ කියන්නෙ වහුම්පුරයන් ගැන මිසක වෙන කවුරුන් ගැනද? වහුම්පුරයන් කියන්නෙ සිංහලයන්ගෙ ගරිල්ලා හමුදාව.

කොහොම වෙතත් උඩරට සිංහල රාජධානියට 1815 දි සුදු හමුදාවත් එක්ක එකඟතාවයකට එන්න සිද්ධ වුනා. ඉතාම කෙටි කාලයකින් මේ එකඟතාවය රාජ්‍ය පාලන යාන්ත්‍රණයක් වුනා. 1817 න් විතර පටන් ගෙන 1848 දක්වා ප්‍රධාන නැගිටීම් දෙකක් මුල් කරගෙන කැරලි මාලාවක් දියත් කරන්න අපේ හමුදා සමත් වුනත් අවසානයේ අපි පරාජය වැළඳ ගත්තා. ඉතින් දහනම වන සියවසේ මැද භාගය වෙන කොට අපේ මිනිස්සු ඉංග්‍රීසි පාලනය භාර ගත්තා. ඒකට හුරු වෙන්න පටන් ගත්තා.

එතනින් පස්සේ උඩරටට උදා වුනේ අලුත්ම යුගයක්. පහතරට මිනිස්සු වැල නොකැඩී මේ පළාත් වලට එන්න පටන් ගත්තා. නුපුරුදු වෙළඳාම මේ පළාත් වල පැතිර ගියා. පුංචි පුංචි කඩ මන්ඩි හැම තැන ඇති වුනා. මෙවා යා කරමින් මාර්ග පද්ධතියක් වර්ධනය උනා. 1833 ඉඳල 1878 වෙනකල් කෝපිත් ඉන් පස්සෙ තේ වගාවත් පැතිරුණා.

රත්නපුරා රටේ කොලොන්න කෝරළය කියන්නෙත් මෙන්න මේ විදහට නමසිය පනස් ගණන් වලින් පස්සෙ අලුත් ලෝකයට ටිකින් ටික විවෘත වෙච්ච් පළාතක්. සිරීපාදෙ පේන තෙක් මානෙ. සමන් දෙයි හාමුදුරුවන්ගෙ අඩවිය. වහුම්පුර මිනිස්සු රංචු පිටින් එකතු වෙලා හිටපු පළාතක්.

සිංහලයන්ගේ කුලය සහ දේශපාලනය ගැන හැත්තෑව සහ අසූව දශකයන් තුළ දීර්ඝව අධ්‍යනය කරපු ජෙනිස් ජිගින්ස් කියන පර්යේෂිකාව කියන විදහට කොලොන්න කෝරලේ, ඒ කියන්නෙ ඇය පර්යේෂණ දියත් කරන කාලය වෙනකොට කොලොන්න ආසනය තුල වහුම්පුර ජනගහණය ප්‍රතිශතාත්මකව සීයට හැටක් ! සිංහලයන්ගේ වෙන කිසිම කුලයක් තනි ආසනයක් ඇතුලෙ මේ විදිහට සාන්ද්‍රණය වෙලා ඉන්නවද කියල මම දන්නෙ නැහැ.

අටසිය ගණන් මැද වෙනකොට කොලන්න කෝරලේ මෙන්න මේ විදහට තියෙන්න ඇතියි කියල මට හිතෙනවා. ඔය ඈතින් පේන්නෙ සිරීපාදෙ. මේ හැන්දෑවේ මම සමන් දෙයි හාමුදුරුවන්ට වඳින ගමන් මගේ රත්තරං හකුරන්ව හදවතින් බදාගෙන වැළඳ ගන්නවා.

 

Social Sharing
අවකාශය නවතම