ම’සිත් හසර එක්තරා නුහුරුවක | ගංගා සුදුවැලිකන්ද

– මධුෂ් රංගන –

මීට වසර 8කට පමන පෙර මගේ කාර්‍යාලය කොම්පඤ්ඤවීදිය ග්ලෙනී පටුමගෙහි පිහිටා තිබුනි. ජාවාලේන් පාපන්දු කණ්ඩායමට තිඹිරිගෙය වූ ද බහුතර මුස්ලිම්වරුන්ගෙන් සමන්විත සුවිශේෂී ජනකොටසකට මධ්‍යස්ථානය වූ එම කලාපය සවස් කාලයේදී සුප්‍රකට කොම්පඤ්ඤවීදියෙ ඉඳිආප්ප, මනිපිට්ටු, සීනක්කු, පැණිරොටි මෙන්ම විවිධ කෙටිකෑම වර්ග විකුණන කුඩා පෙට්ටිකඩ වලින් සමන්විත විය. මගේ මතකය නිවරදිනම් 2013දී පමණ නිවාස ව්‍යාපෘතියක් සඳහා එකී ඉඩම් පවරාගැනීමත් සමග ඉහතකී සංස්කෘතිය පවත්වාගෙන ආ ජනසමූහයා විතැන්විය. අද එකී භූමිභාගයේ එක් පෙදසක මහල් නිවාස සමූහයක් ඉදිවී ඇත, පැරණි පදිංචිකරුවන්ගෙන් කොටසක් එහි වෙති. නව්‍යකරණයේ නොවැලැක්විය හැකි පියවරක් ලෙසින් සිදුවෙන මෙකී සංවර්ධන ව්‍යාපෘති සහ එහි ස්වභාවික ප්‍රතිඵලයක් ලෙසින් මැකීයන සුවිශේෂී සංස්කෘතික කලාප දෙස මතකය නැවත දිවගියේ ඒහා බැඳුණු සාහිත්‍ය කෘතියක් නිසාවෙනි. සාහිත්‍ය සඳහාවූ නොබෙල් ත්‍යාග ලාභී තුර්කි ලේඛක ඔර්හාන් පමුක්ගෙ A Strangeness in My Mind හි පරිවර්තනය “ම’සිත් හසර එක්තරා නුහුරුවක” පිළිබඳව මගේ කියවීමයි මේ…

පිටු 848ක් එක්ක දිගු කාලයක් ගතකරදි පොතේ පිටු අතර අපේ අත්දැකීමක මතකය අවුස්සා ගොඩගන්න පුළුවන් වුනොත් ඒක සාර්ථක නිර්මාණයක් කියලා දැනෙන්න ගන්නවා. ඒ හැඟීම් ලියන්න ගොණුකරන්නෙ කොහොමද කියන එක ගැටළුවක්, සමහරවිට මේ සටහන ටිකක් දිගු වේවි.

පොතට ඉංග්‍රීසි නම දීලා තියෙන්නෙ Strangeness කියන වචනයත් එක්ක. ඒක සිංහලට පරිවර්තනය වෙන්නෙ නුහුරුවක කියලා. පමුක් මුල් කෘතිය තුර්කි බසින් රචනාකරද්දී යොදාගත් වචනයේ තිබූ තේරුම එයද? කියන ගැටළුව තියෙනවා. පොතේ පිටු අතර තැවරී ඇත්තේ “හිමිවූ පසුව අහිමිවූ – නොමැති කල තිබුනානම් යයි සිතෙන” ගුප්ත හැඟීමක්. Strangeness කියන වදනින්වත් එහි පරිවර්තිත නුහුරුව කියන වදනින්වත් එකී හැඟීම ගෙන එන්නෙ නැහැ. දැන් කියන්න හදන්න එපා පරිවර්තනය අසාර්ථකයි කියලා, ඒක එහෙමනම් පොත කියෙව්වම නමේ වැරද්දක් පෙනෙන හැඟීම් දැනුනෙ කොහොමද?

තුර්කියේ ඉස්තාන්බූල් අගනුවර වෙත මධ්‍යම ඇනටෝලියාවේ දිළිඳු ගමකින් සංක්‍රමනයවූ යෝගට් සහ බෝසා වෙළඳාම ජීවිකාව කරගත් හසන් සහ මුස්තාෆා යන සහෝදරයින් සහ ඔවුන්ගෙන් පැවත එන පරම්පරා දෙකක කතාන්දරය, දුටු මතින් වෙහෙසකර කියවීමක් වනු ඇතැයි අනුමාන පහළ කරනු ඇති තරමේ විසල් පොතකි. එවන් සැක සංකා ඇති කර නොගන්නා මෙන් මෙකී සටහන කියවන පාඨකයිනට දන්වනුයේ, ඔර්හාන් පමුක්ගේ ලිවීම විසින් එය ඉදිරිපත්කරන්නාවූ සුමට විළාශයයි. එය සිහිගන්වනුයේ චරිත සියල්ල විශාල සෝෆාවක අසුන්ගන්වා මධ්‍යයේ සිට සාකච්ඡාවක් මෙහෙයවන නිවේදකයකුගේ ස්වරූපයකි. පමුක් විසින් විටින් විට මයික්‍රෆෝනය එක් එක් චරිතය වෙත ලබාදෙන අතර අදාළ චරිතයන් විසින් සිය නිදහස් අදහස් පැවසීමට යෙදෙති. මෙකී ආඛ්‍යානය “සුනේත්‍රාගේ-කවිකඳුරෙහි” ආඛ්‍යානය සිහිගන්වයි. කතුවරයා කතාව තුළ පණ්ඩිතමානී ඡේද ගොණුකරනවා වෙනුවට අදාළ චරිත කතාකිරීමට සළස්වා ඒ මතින් රසවත් කතාවක් ගොගනඟන්නේ කෙසේද, විසල් පිටු ගණනක් අතර පාඨක මනස වෙහෙසකින් තොරව රඳවාගන්නේ කෙසේද යන්නට කදිම උදාහරනයක් ලෙසින් මෙකී පොත ලේඛක-පාඨක යන දෙවර්ගය විසින් කියැවිය යුත්තක් වශයෙන් හඳුන්වනු කැනැත්තෙමි.

ඔර්හාන් පමුක්

මෙය මුස්තාෆා කරතස්ගේ පුතු මෙව්ලුත් කරතස්ගේ කතාන්දයයි. සිය පියාට සහාය වෙමින් වැඩිදුර අධ්‍යාපනයද ලබනු රිසියෙන් මෙව්ලුත් ඉස්තාන්බූල් වෙත ළඟාවෙයි, ආර්ථික ‍යුද්ධය වෙනුවෙන් සිය පියාට සහයවනු වස් වියකඳට උරදෙන ඔහු හට අධ්‍යාපනය වෙනුවෙන්ම කාල කළමනාකරණය කිරීමට නොහැකිවීමෙන් මෙන්ම ඔහු තුළවූ උකටලී ස්වභාවය නිසා අධ්‍යාපනය සාර්ථකව අවසන් කිරීමට නොහැකිවේ. එහෙත් සිය පියාගෙන් මෙන්ම වීදි වෙළඳ මිතුරා ෆෙර්හාත් මගින් ඔහු වීදි වෙළඳාමේ ශිල්පීය ක්‍රම උගනියි. ප්‍රතිඵලය වීදි වෙළඳාමට ප්‍රිය තවත් වෙළෙන්දෙක් ඉස්තාන්බුල් භූමියට බිහිවීමයි.

පමුක්ට අවශ්‍යවනුයේ වීදි වෙළෙන්දන් පිළිබඳ කතාවක් කීමට නොවන වග පැහැදිළිය. ඔහුට අවශ්‍යවනුයේ තුර්කි ආර්ථිකයේ ප්‍රසාරණයත් සම්ඟින් එහි ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ගමෙන් නගරයට සංක්‍රමණය වූ මිනිසුන් සහ එකී මිනිස් කැළෙහි ක්‍රියාකාරීත්වය මගින් ඉස්තාන්බූල්හි ආර්ථික-සංස්කෘතික-දේශපාළනික සිතියමෙහි සිදුවූ බළපෑම පිළිබඳව කතාවක් අපහමුවේ තැබීමටය. ඔහු ඉස්තාන්බූල් සමාජයේ හරස්කඩ පළමුව පෙන්වනුයේ මෙව්ලුත්ගේ පාසලෙනි. එය ඉස්තාන්බුල් මහා සමාජයෙහි කුඩා නියැදියකි. නිවාසවල ස්වභාවය අනුවද සමාජය බෙදී ඇති ආකාරය ඔහු කතාව තුළ දක්වනුයේ, සංක්‍රමණිකයන් අනවසර පදිංචිකරුවන් ලෙසින් නගරයට පිටින් පිහිටි රජයේ ඉඩම්වල එක් රැයකින් ගොඩනගාගන්නා නිවාස සහ ප්‍රාදේශීය දේශපාළඥ්ඥයින්ගේ සහායෙන් එකී ඉඩම් සඳහා නෛතිකභාවයක් අත්පත්කරගන්නා ආකාරය පියවරෙන් පියවර විස්තර කරමිනි.

නගරයේ දේශපාළනික බෙදීම සහ ලෝක දේශපාළන ප්‍රවාහයේ ප්‍රතිඵලයක් ලෙසින් වාම සහ දක්ෂිණාංශික කණ්ඩායම් අතර සිදුවන ඝට්ටනත්, එතුළින් පමුක් සිය කෘතිය තුළ සංඛේතීය දක්ෂිණාංශිකයකු (සුලේමාන්) වාමාංශිකයකු (ෆෙර්හත්) සහ සාමාන්‍ය වැසියෙක් (මෙව්ලුත්) මතුකරගනී. ඉන් පසුව කතාවේ මතුපිට මෙන්ම සංඛේතීය කතාන්දරයක් යටිපෙළේ කියවීම පාඨක වගකීමකි.

මෙව්ලුත් සිය ඥාති සහෝදරයාගේ විවාහ මංගලෝත්සවයේදී මනමාලියගේ නැගනියක සමගින් ආදරයෙන් බැඳීමත්. එකී තැනැත්තියගේ නම සාමිහා වෙනුවට රායිහා යනුවෙන් සුලේමාන් විසින් පැවසීමත් ඒ අනුව සාමිහා පිළිබඳව සිතිවිලි මවමින් රායිහා වෙත ලිපි ලිවීමත්, අවසානයේදී තරුණිය සමගින් රහසින් පැනයන රාත්‍රිය තෙක් සුලේමාන් විසින් ඔහු රවටනු ලැබූ බව කතානායක මෙව්ලුත් කර්තස් නොදනී. එක් අයෙකුට ආදරය කොට ඈ යයි සිතා වෙනත් අයෙකු හා විවාහ වී එසේ වුවද ලද ජීවිතය සමගින් සතුටින් දිවිගෙවීමෙන් සංකේතවත් කරනුයේ සාමාන්‍ය මිනිසාගේ ජීවිතය මිස අන් කවරක්ද? තරුණ වියේදී අදික ලෙස ස්වයං වින්දනයට ඇබ්බැහිවූ මෙව්ලුත් වෙතින් කාමාතුරයකු මවාගැනීමට පාඨකයා ඉක්මන් නොවිය යුතුය. තරුණ ගැටයකුගේ ලිංගික උත්තේජනයට වඩා ප්‍රකෘතියේදී තමා අපේක්ෂා කරන එහෙත් නොලැබෙන දෙයක් ෆැන්ටසියේදී වින්දනය කරන සාමාන්‍ය මිනිසා නිරූපණය කිරීමට යොදාගත් සාහිත්‍යමය ප්‍රවේශයක් ලෙසින් එකී ඇබ්බැහිය දැක්මට හැකිය.

ගංගා

ජීවන සටනට උරදෙනුවස් දහවල් කාලයේදී බත් සහ අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් ලෙසින් ක්‍රියාකරන ඔහු රාත්‍රියේදී බෝසා විකිණීමෙහි යෙදේ. මෙහිදී පමුක් බෝසා තෝරාගත්තේ ඇයි? බෝසා යනු මුස්ලිම් මිනිස්සුන්ට ඇල්කොහොල් පානය කිරීම සඳහා නිපදවූ බීමක්‍ බව කතාවෙහි කියැවේ. ඒ අනුව එය මතභේදාත්මක පානයකි. එමගින් සම්ප්‍රදාය සංකේතවත්වූ බව හැඟේ. බෝසා වෙළෙන්දාගේ හඬ ඇසීමට නාගරික මධ්‍යම පාන්තිකයා නොස්ටැල්ජියාවෙන් පෙළෙන්නේ එබැවිනි. සංක්‍රමණික ගැමියා නාගරීකරණයතුළ ගිලී ගියද සම්ප්‍රදාය රැකගැනීමට වෙහෙසෙන්නේ කෙසේද එය මෙව්ලුත් අත්නොහරින බෝසා වියකඳින් සංකේතවත් කරයි.

දක්ෂිණාංශික ජයග්‍රහණය සහ එකී ආර්ථික ක්‍රියාවලියේදී ක්‍රමක්‍රමයෙන් සම්ප්‍රදාය ගිලීයනාකාරය පොතේ තැනින් තැන විස්තරවේ. උදාහරණයක් ලෙසින් මෙව්ලුත්ගේ පියාගේ දවසෙහි සාම්ප්‍රදායික ‍යෝගට් වෙනුවට ඉවත්ලියහැකි ඇසුරුමේ ඇති යෝගට් පැමිණීමත්, එකී විශාල සමාගම් සමගින් තරඟකිරීමට නොහැකිව යෝගට් වෙළෙඳාම ඔවුනට අහිමිවීමත් දැක්විය හැකිය. ඉන් දශක දෙකකට පසුව දිනක් මෙව්ලුත් දකිනුයේ ප්ලාස්ටික් ඇසුරුමේ බහා එන බෝසා නිශ්පාදනයකි. තවත් තැනක වීදි වෙළෙන්දා වෙනුවට කඩ හිමියන් බිහිවීමත් එකී කඩ හිමියන්ගේ මැසිවිලි වලට කන්දීමක් වශයෙන් වීදි වෙළෙන්දන්ගේ ජංගම වෙළෙඳසැල් නැතහොත් කරත්ත නගරසභාව විසින් විනාශ කිරීමත් දැක්විය හැක. වාමාංශික සහ දක්ෂිණාංශික ගැටුමේදී දක්ෂිණාංශිකයාගේ පැවැත්ම තහවුරු කිරීමට තීර්ණාත්මක කාර්‍යයක් ඉටුකරනුයේ ආගම විසිනි. එකී ආගම පවා දක්ෂිණාංශික දේශපාළනික ක්‍රියාවලිය තුළ ගිලීයමින් අනාගමික රාජ්‍යක් වෙනුවෙන් නාගරිකයා පෙළගැසෙනුයේ ආර්ථික ක්‍රියාවලිය මගින් ඔවුන්ගේ මනසෙහි සිදුකළ පරිවර්තනය හේතුවෙනි.

දක්ෂිණාංශික සුලේමාන් ඔහුට වඩා වැඩිමහල් සමාජශාළා ගායිකාවක් සමගින් විවාහවේ. මෙකී විවාහය සිදුවනුයේ සැළසුම් නොකළ ගැබ්ගැනීමක් සමඟිනි. මෙහිදී දක්ෂිණාංශිකයා සංස්කෘතිකව කෙතරම් දක්ෂිණාංශික ද? කෙතරම් නිදහස් අදහස් පිළිගැනුමට සූදානම් ද? යන ප්‍රහසනාත්මක පැනය පමුක් විසින් මතුකරයි. වාමාංශික සංකේතය ෆෙර්හාත් වෙනසක් යෝජනා කලද වෙනස පිළිගැනීමට සහ වෙනස සමගින් දිවිගෙවීම කෙතරම් දුෂ්කරද? යන්න පසක්කරයි, ඔහු සාමිහා සමගින් පැනයනුයේ දක්ෂිණාංශිකයා රිදවමිනි. ඈ සමගින් දිවිගෙවනුයේ අති දුෂ්කර පරිසරයකය, එහෙත් සුන්දර අනාගතයක් පිළිබඳව සිහින මවමිනි. දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනික ජයග්‍රහණ ලබාගන්නා ඔහු ඒ වෙනුවෙන් සිය පවුලේ සතුටත් ආත්මාභිමානයත් ආවස්ථික පිරිවැයක් ලෙසින් කැපකරයි. සම්ප්‍රදාය කරපින්නාගෙන ගමන්ගන්නා ආදරණීය සාමාන්‍ය මිනිසාගේ පවුල් ජීවිතය ඛේදවාචකයක් වනුයේ එකී සම්ප්‍රදාය ගැති භාවයම නොවේද? වැඩුනු ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටිනා තැනක තවත් දරුවකු බිහිකිරීම අනුචිත යයි හැඟීමෙන් නීතිවිරෝදී ගබ්සාවකට මුහුණ දෙන රායිහා මියයනුයේ එකී උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි. මෙකී සියළු සංකීර්ණතා සටහනට ගෙන ඒම සටහන අනවශ්‍ය ලෙසින් දික්ගැසීමට හේතුවන බැවින් කියැවීම ඔබට භාරකරමි.

පරම්පරාවක් වීදි වෙළඳාමේ යෙදුනද විශ්‍රාම දිවිය සතුටින් ගෙවනුවස් ප්‍රාග්ධනයක් රැස්කරගත හැකිවනුයේ ඉතාමත් සුළු පිරිසකට පමණි. මෙකී ආර්ථික ක්‍රියාවලිය තුළ ඔවුනට නොදැනී නගරය ප්‍රසාරණයවේ, නගරයට පිටින් ඔවුන් අයිතිකරගත් ඉඩම්කැබළි නගරය තුළට යාකරගැනීමට දේපොළ සංවර්ධකයෝ මාන බලමින් සිටිති. අවසානයේදී ඔවුන් මා පළමු ඡේදයේ කොළඹ ආශ්‍රිතව සිදුවූවායැයි දැක්වූ පරිදි තට්ටු නිවැසියන් බවට පත්වී. සම්ප්‍රදායන්, සබඳතාවන්, පුරුදු ආදිය අහිමිවූ ඒ පිළිබඳව මෙලන්කොලියාවකින් (සිංහල වචනයක් නොදනී) පෙළෙන පිරිසක් බවර පත්වේ. තට්ටු නිවසින් බැස සම්ප්‍රදාය අළෙවි කරද්දී බෝසා…හොඳ බෝ…සා…. යන හඬ අසා ඒ වෙනුවෙන් අමතර මුදලක් ගෙවීමට කැමති මෙලන්කොලික සමාජයක්ද මහල් නිවාස තුළින් හමුවනුයේ එබැවිනි. අලුත් අවුරුද්දට චීත්ත ගවුමින් සහ බතික් සරමින් සැරසුණු තරුණ තරුණියන් රූපවාහිනිය බදුගෙන උත්තර බඳිණුයේ අපේ සිත් හසරේ ඇතිවන ඒ’ මෙලන්කොලියාවටද?

පසුගිය වසරේ රත් වරලැති ළිය පරිවර්තනය කරමින්ද මේ වසරෙහි මෙකී කෘතිය පරිවර්තනය කරමින්ද විදර්ශන ප්‍රකාශකයින් ඔර්හාන් පමුක් සිංහල පාඨකයා වෙත සමීප කරන ළදි. පොතේ කතාකරන ප්‍රස්තූතය කොළඹ නගර ප්‍රසාරණය සමඟින් කදිමට ගැළපෙන නිසා මෙය පාඨක/ විද්‍යාර්ථීන් (ඇකඩමික්ස්) කණ්ඩායම් අතර සාකච්ඡාවට බඳුන්විය ‍යුතු සහ බඳුන්වේවා! යැති පතමු. එය පරිවර්තිකාව දැක්වූ පරිවර්තන වෙහෙසටද සාධාරණයක් ඉටුකරනු ඇත. දශක දෙකකට වඩා පරිවර්තන කාර්‍යයේ යෙදෙන ගංගා සුදුවැලිකන්ද පිළිබඳව ප්‍රශස්ති ගැයීම අනවශ්‍යය. එහෙත් රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය දූ දරුවෝ ටෙලිනාට්‍යයේ පටන් අනන්ත සංඛ්‍යාවක් මෙහෙකාරියගේ චරිතය නිරූපණය කිරීම නිසා පසුකාලීනව ඇගේ සාමාජීය දේශපාළනික මැදිහත්වීම් එකී චරිතයනට සාපේක්ෂව මැනදැක්වීමට ලාංකීය ෆේස්බුක් පරිශීලකයන් උනන්දුවූවාසේ, ජැක් ලන්ඩන්, කාලීඩ් හොසෙයිනි වැනි කතුවරුන්ගේ පොත් පරිවර්තනයෙන් පසුවත්, ගංගා විෂයෙහි ළමා පොත් පරිවර්තිකාවක් යන ලේබලය ගැළවීමට පාඨක (ඇතැම්) ඇගැයීම් මණ්ඩල උනන්දු නොවන තැනක ගංගා විසින් තඩි පොතකින් පාඨකාගාරයට අභියෝග කර ඇත. කියවීම සහ කියවාගැනීම අප සතු කාර්‍යයකි!

උපුටාගැනීම : ෆේස්බුක්

 

Social Sharing
අවකාශය නවතම